බබාට බෙහෙත් විදින්න බයද ?

මිනිසාට වැලඳිය හැකි රෝග වළක්වා ගැනීමට විවිධ ක‍්‍රම ඇත. ඒ අතරින් ප‍්‍රතිශක්තිකරණයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වසූරිය අද වන විට ලෝකයෙන් තුරන් කර ඇති අතර, පෝලියෝ රෝගය තුරන් කිරීමේ ආසන්න තත්ත්වයට පත්ව තිබේ. ඒ සියල්ල සිදුවූයේ ලෝකය පුරා විහිදුණු ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන් මගිනි.  වසර 2022 දත්තවලට අනුව පෝලියෝ රෝගය ලෝකයේ බොහෝ රටවල්වලින් තුරන් කර ඇති අතර දැනට ඉතිරිව ඇත්තේ පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය යන රටවල් දෙකේ පමණි.

ලෝකයේ 1796 දී පළමු එන්නත බිහිවූයේ එඞ්වඞ් ජෙනර් නැමැති බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරයා කරන ලද පරීක්ෂණයක ප‍්‍රතිඵලයක් වශයෙනි. ගව වසූරිය රෝගය සෑදුණු පුද්ගලයෙකුගේ තුවාලයකින් ගන්නා ලද ශ‍්‍රාවය වයස අවුරුදු 08 ක් වූ දරුවෙකුගේ සමෙහි සුළු සීරීමක් තුළින් සිරුරට ඇතුළු කළද එම රෝගය ඒ දරුවාට නොවැලඳුනි. මේ අනුව යම්කිසි පුද්ගලයෙකුගේ සිරුරට රෝගකාරක විෂබීජයකින් ශරීරයට හානි නොවන ඉතා සුළු මාත‍්‍රාවක් ඇතුළු කිරීමෙන් එම පුද්ගලයාට ඉතා භයානක රෝගයක් වැලඳීම වළක්වා ගත හැකිබව ජෙනර් පෙන්වා දෙන ලදී. අද එන්නත්කරණයේදී ද භාවිතයට ගනු ලබන්නේ මේ මූලධර්මයයිි. 

අපට ස්වාභාවිකව රෝගයක් සෑදුණු පසුව ශරීරයේ ප‍්‍රතිශක්තිය මගින් එම රෝගය ඇති කළ විෂබීජය (බොහෝ විට බැක්ටීරියාව හෝ වයිරසය) හඳුනා ගැනේ. ඉන්පසු එම විෂබීජය සමග සටන් කිරීමට අවශ්‍ය ප‍්‍රතිදේහ ප‍්‍රතිශක්ති පද්ධතිය මගින් සාදාගනු ලබන අතර එමගින් වැලඳුණු රෝගය සුව කරයි. ඉන්පසුවද එම ප‍්‍රතිදේහ ශරීරය තුළ දීර්ඝකාලීනව පවතින අතර බොහෝ විට මුළු ජීවිත කාලය තුළම පවතී. නැවත එම රෝගකාරකය ශරීරයට ඇතුළුවීමකදී ශරීරය තුළ පවතින ප‍්‍රතිදේහ එම රෝග කාරකයා විනාශ කර රෝගය වැලඳීම වළක්වා දමයි.
අද භාවිතා වන එන්නත්වලින් සිදු කරනු ලබන්නේ රෝග කාරක විෂබීජ රෝගයක් සෑදීමට නොහැකි වන අයුරින් අඩපණ කර හෝ මරා දමා ඉන් ඉතා සුළු ප‍්‍රමාණයක් එන්නතක් මගින් සිරුරට ඇතුළු කිරීමයි. එසේ කිරීමෙන් ස්වාභාවිකවම රෝගය වැලඳුණු අයුරින්ම ‘ප‍්‍රතිදේහ’ නිපදවීමට ඉඩ සලසයි. එවිට අනාගතයේ යම් දිනක එම විෂබීජය සිරුරට ඇතුළු වූ විට සිරුර තුළ සෑදී ඇති ප‍්‍රතිදේහ එම විෂබීජය සමග සටන් කර රෝගය වැලඳීම වළක්වයි. ඒ නිසා දරුවෙකු ඉපදී පැය කිහිපයක් ඇතුළත ලබා දෙන්නා වූ බී.සී.ජී. එන්නතත් සමග දරුවාගේ වයස අවුරුදු 11 දක්වා සිදු කරන ප‍්‍රතිශක්තිිකරණ වැඩසටහන යටතේ ලබා දෙන්නා වූ සියලූම එන්නත් මාලා නිවැරැදි කාලසීමාවලදී ලබා දීමෙන් රෝගබාධ රාශියකින් දරුවා ආරක්ෂා කරගත හැකිය. 

එන්නත් දුන්නත් 
සමහර රෝග හැදෙනවා 

සමහර එන්නත් වර්ග ලබා ගත්තත් එම රෝගය වැලඳීමේ අවදානමක් ඇත. ක්ෂයරෝගය හොඳම උදාහරණයකි. මෙම එන්නත ලබා ගත් නමුත් රෝගය වැලඳීමේ හැකියාව ඇත. එහෙත් එහි වාසිදායක තත්ත්වය වන්නේ එම රෝගය බරපතළ ලෙස නොසෑදීමට ඉඩකඩ වැඩි අතර භයානක සංකූලතා තත්ත්ව නොසෑදෙන තරම් වන නිසාය. 

ප‍්‍රතිශක්තිකරණ එන්නත් නොදුන්නොත් වෙන දේ  

සමහරු ප‍්‍රතිශක්තිකරණ එන්නත් ප‍්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස පෙනී යන්නේ එන්නත් ලබා දීමෙන් පසුව ඇති වෙන අතුරු ආබාධවලට ඇති අනවශ්‍ය බියයි. ඒවාගේම අද මෙම රෝගී තත්ත්ව සමාජයේ දැකීමට නොලැබෙන නිසා එන්නත් ලබාදීම අනවශ්‍ය යැයි සිතීමත්, මිථ්‍යා මත, සරල එන්නතකින් රෝගයක් සෑදීම වළක්වා ගන්නේ කෙසේද යන්න ගැන ඇතිි අඩු දැනුම, විශේෂ නිධන්ගත රෝගී තත්ත්ව නිසා එන්නත් දීමට නොහැකි යැයි සිතීමයි. එහෙත් දරුවාට නිසි කල එන්නත් ලබා නොදීම යනු දරුවාගේ ජීවිතය අවදානමේ දැමීමකි.
ප‍්‍රතිශක්තිකරණ නොවන අනෙකුත් එන්නත් (ප‍්‍රතිජීවක එන්නත්) රෝහල්වලදී ලබා දීමෙන් පසු ඇති වූ තීව‍්‍ර සංකූලතා නිසා ජීවිත අහිමි වූ බවට මේ දිනවල ආරංචි පැතිරෙයි.      
අපේ රටේ දරුවන් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන ප‍්‍රතිශක්තිකරණ එන්නත් ක‍්‍රියාවලිය ඉතාම ඉහළ අගයකින් පවතී. 
මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වගේම යුනිසෙෆ් ආයතනයද ප‍්‍රසංසා කර තිබේ. මේ එන්නත් ඉතා හොඳ ප‍්‍රමිතියකින් ඇති අතර ඊට උචිත උෂ්ණත්වයක තබා තිබේ. එබැවින් දරුවන්ට ලබා දෙන මෙම ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැත.
ප‍්‍රතිශක්තිකරණ එන්නත් බොහෝවිට දෙනු ලබන්නේ පේශිය තුළට හෝ මුඛ මුඛය ඔස්සේය. එබැවින් දරුණු අසාත්මිකතා ඇති නොවේ. අසාත්මිකතාවන්ට නැඹුරුතාවක් ඇති අයට එන්නත් ලබා දීමේදී රෝහල්ගත කර විශේෂ අධීක්ෂණයන් යටතේ එන්නත් ලබා දෙයි. ඒ නිසා මේ සඳහා අනවශ්‍ය බියක් ඇති කර ගනිමින් දරුවන්ට නිසි ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොදීම අනුවණ ක‍්‍රියාවකි.

සරම්ප පැතිරෙයි

ඇතැම් මවුවරු යම් යම් හේතු මුල්කරගෙන ප‍්‍රතිශක්තිකරණ එන්නත් නිසි ලෙස ලබා නොදීමෙන් මේ දිනවල සරම්ප රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ. සරම්ප ඉතා පහසුවෙන් බෝවෙන රෝගයකි. එබැවින් මෙම එන්නත්් ලබා නොගත් අය අතර රෝගය ඉතා ඉක්මනින් බෝවෙයි. සරම්ප රෝග ලක්ෂණ ඇතිව රෝහල්ගත කෙරුණු බොහෝ දෙනෙක් සරම්ප එන්නත ලබා නොගෙන තිබීම කනගාටුදායක තත්ත්වයකි. සරම්ප යනු මාරාන්තික විය හැකි රෝගී තත්ත්වයකි. එබැවින් මෙවැනි රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා නියමිත එන්නත ලබා ගැනීම වඩාත් වැදගත්බව මතක තබා ගත යුතුය.
ප‍්‍රතිශක්තිකරණ එන්නත් වැඩපිළිවෙළ ඉතාමත්ම සරල එන්නත් ක‍්‍රියාවලියකි. එයින් භයානක රෝග විශාල ප‍්‍රමාණයක් වළක්වාගත හැකිය. ඒ නිසා අනවශ්‍ය බිය හා මිථ්‍යා මත මුල්කරගෙන මෙම එන්නත් දරුවන්ට ලබා දීම මඟ නොහැරීමට මවුපියන් වගබලා ගත යුතු ය. 

සටහන - සුබෝධිනි පෙරේරා

විසිකරන දෙහි ලෙල්ලෙන් දිදුලන සමක් Read Previous

විසිකරන දෙහි ලෙල්ලෙන් දිදුලන සමක්

සතියෙන් ලස්සන වෙන සහල් වතුර සත්කාර Read Next

සතියෙන් ලස්සන වෙන සහල් වතුර සත්කාර

Realted Post

Leave a comment