යටිපතුල් ඉදිමෙනව නම් මේ ටික කරල බලන්න

යටි පතුල් ඉදිමුම නැමැති රෝග තත්ත්වය පිළිබඳව සමාජයේ බොහෝ වෙලාවට අසන්නට දකින්නට ලැබේ. මෙවැනි තත්ත්වයන් මතුවීම සහ වළක්වා ගැනීමට කළ හැකි ආයුර්වේදීය ප්‍රතිකාර කිහිපයක් මෙහි සඳහන්. විලුඹ වේදනාව, වළලුකර ඉදිමුම, වැනි රෝග ලක්ෂණ වාත කණ්ඨක  තත්ත්වය නිසා මතුවන බව ආයුර්වේදයේ සඳහන් වේ. 

මෙම රෝගය ඇතිවීමට හේතු 

වාත කෝපයත් සමඟම ලබා ගන්නා ආහාරයේ නොදිරවන කොටස් ( නොදිරවූ කැල්සියම් ආදි පදාර්ථ ) සිරුරේ මෙවැනි ස්ථාන කරා ගමන් කර  තැන්පත් වීමෙන් මෙම රෝගී තත්ත්වය මතුවීමට පුළුවනි. 

සිරුරේ පවතින ස්නායු රෝග තත්ත්වයන්ගේ බලපෑමක් ලෙසද මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. 

පාවහන් පැළඳීම නොකර බොහෝ වෙලාවක් ඇවිදීම, වල ගොඩැලි සහිත ස්ථානවල පාවහන් පැළඳීමක් සිදු නොකර ඇවිදීම, පාදය පොළොවට නිසි ලෙස ගැටෙන ලෙස නොසිටීම, පාදය වෙනස්කර තබමින් ඇවිදීම, වේගවත්ව ඇවිදීම, දවස පුරාම හිටගෙන සිටීම, උස් අඩි සහිත පාවහන් පැළඳීම නිසාද මෙය ඇතිවිය හැකියි.

පාදයේ උඩු පතුල සහ යටි පතුල දෙකම ඉදිමීමට හේතු

 

  • මූත්‍රා ආසාදන මතුවීම.
  • දියවැඩියා රෝගයේ අතුරු සංකූලතාවයක් ලෙස මෙවැනි තත්ත්ව ඇතිවීම. 
  • චර්ම රෝග වලදී ආසාදනයන්ට ලක්වීම. (පාදයේ තුවාල, පාද පැලීම වැනි අවස්ථාවලදී විස බීජ ඇතුළු වීම නිසා) 
  • සිරුරේ රක්ත දෝෂ, ව්‍යායාම අවම වීම, පාද බොහෝ වේලාවක් ක්‍රියාකාරී නොකර, පහළට එල්ලා සිටින ලෙස සිටීම. 

රෝග ලක්ෂණ. 

- මුත්‍රා ආසාදන තත්ත්වයන් ඇතිවීමේදී බාහිරව පෙන්නුම් කරන ලක්ෂණයක් ලෙස වළලුකර සහ යටි පතුල ඉදිමුම දැකගත හැකියි.

-  සිරුරේ කසන ස්වභාවයක් ඇතිවීම හා ඉදිමුම පවතින ස්ථානයේ සමේ පැහැය වෙනස්වීම. 

- ස්නායු තෙරපුම හේතුවෙන් එම ස්ථානය හිරි වැටුණු ස්වභාවයක් මතුවීම.

- කාලයක් ගතවීමේදී ඉදිමුණු ස්ථානය කිසිම රෝග ලක්ෂණයක් නොදැනෙන තත්ත්වයකට පත්වීම, එනම් පුළුංගොඩක ඇවිදිනවාක් මෙන් දැනීම.

- දැවිල්ල සහිත වේදනාව වැනි ලක්ෂණ මතුවීමට පුළුවනි.

 
මෙම රෝග සුවයට ආයුර්වේද සතු සාර්ථක ප්‍රතිකර්ම පවතී. මෙහිදී මෙම රෝග තත්ත්වය මතුවීමට හේතුව සොයාගෙන රෝග මූලයට ප්‍රතිකාර ලබාදීම මූලිකව කළ යුතුයි. 

පාදවලට සුදුසු පහසු  ව්‍යායාම ලබාදීම, පාදවලට ගැලපෙන පාවහන් භාවිත කිරීම, මුත්‍රා වල පැහැය පිළිබඳව අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ. මෙහිදී මූත්‍රා කහ පැහැයක් ගනී නම් හොඳින් වතුර පානය කළ යුතුයි. 
එමෙන්ම නීරමුල්ලිය, පොල්පලා තැම්බූ වතුර පානය කිරීම ඉතා ගුණදායක වේ. මෙමඟින්  මුත්‍රා පිරිසුදු වේ. 
යටිපතුල් ඉදිමීමට  හේතුව වන්නේ රක්තයා නම්, ඉර මුසු තම්බා පානයට ගැනීම, නෙල්ලි, රසකිඳ පානය වැනි  ඖෂධීය පාන වර්ග භාවිතා කළ හැකියි. 

ආහාරපාන පිළිබඳව සැලකිලිමත් වීමත් ඉතා වැදගත්.

ක්ෂණික ,ආම්ලික ගතිය වැඩි කෘත්‍රිම ආහාර පාන ,රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ආහාරපාන වැඩි වශයෙන් භාවිත කිරීමෙන් මෙම තත්ත්වය වර්ධනය විය හැකියි. එම නිසා මෙවැනි ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි. 

නිවසේදී කළ හැකි බාහිර සත්කාර

-උණු වතුරට ලුණු එකතු කර, එයට පාද දමාගෙන දමා සිටීම.

-අරත්ත අල තම්බා ගත් මද උණුසුම් වතුරට පාද දමා සිටීම.

-තිරිවනා ගලක්, අරත්ත අල  තැම්බු වතුරට දමා එය  මත පාද යේ ඉදිමුණු ස්ථානය තබා තැවීම. 

මෙවැනි ප්‍රතිකාර නිවසේදී කරන අතරතුර  වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙම රෝගය සුව කර ගත හැකියි.

මහේෂානි මීගහපොළ

අදහස් දැක්වීම
සර්වාංග රෝග පිළිබඳ ආයුර්වේද වෛද්‍ය විද්‍යාරත්න.

පවුල් ජීවිතයේ ආදරණීය අන්දරය Read Previous

පවුල් ජීවිතයේ ආදරණීය අන්දරය

ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න Read Next

ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න

Realted Post

Leave a comment