හිතටත් ගතටත් වද දෙන නඟන
නගන කියන තත්ත්වය වයස් භේදයකින් තොරව ඕනෑම වෙලාවක ඕනෑම අවස්ථාවක ඇතිවිය හැකි තත්ත්වයක්. එය සමහර වෙලාවට ඔබට වේදනාකාරී වගේම හිතට කයට පීඩනයක් ගෙන දෙන බාහිර රූපය අවලස්සන කරවන තත්ත්වයක් වීමටද පුළුවන්. මේ තත්ත්වයේදී නිවසේදී කළ හැකි සත්කාර කිහිපයක් ගැනයි මේ කියන්න හදන්නේ.
මොනවද මේ නගන කියන්නේ.
නගනයක් කියන්නේ ඇසිපිය තුළ ඇති තෙල් ශ්‍රාවි ග්‍රන්ථිවල මතුවෙන සුළු බැක්ටීරියා ආසාදන තත්ත්වයක්.
නගන ඇතිවීමට හේතු
ආයුර්වේදයට අනුව පිත් දෝෂය අධික වීම, රක්තය දූෂණය වීම, අග්නිය දුර්වලවීම , ආතතිය , අපිරිසිදුකම වැනි තත්ත්වයන් මේ සඳහා බලපායි.
මෙහිදී මතුවන ලක්ෂණ.
නගන දෙවර්ගයක් ලෙස වර්ග කරන්න පුළුවන්.
බාහිර නගනවලදී ,
ඇසිපිය පිටත ඇති වී කහ පැහැති සැරව පිටත ගැලීමක් සිදුවෙන්න පුළුවන්.
අභ්‍යන්තර නඟන.
ඇසිපිය ඇතුළත ඇතිවීම, වේදනාව
මීට අමතරව පොදු ලක්ෂණ ලෙස
ඇස් පිය රතු වීම, ඉදිමුම, වේදනාව ඇස් පිය වල වියළි බව, ඇස කැසීම, ඇසෙන් ශ්ලේෂ්මල ශ්‍රාවයක් පිටවීම, ආලෝකයට අධික සංවේදීතාවයක් පැවතීම වැනි ලක්ෂණ පෙන්වයි.
නගන සුවයට නිවසේදී ප්‍රතිකාර.
බොහෝ විට මේ සඳහා විශේෂ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවන අතර සතියක් පමණ කාලයක් තිබී ඉබේම සුව අතට පත්ව යයි. නිවසේදී ඔබට මෙවැනි පිළියම් මේ සඳහා සිදුකළ හැකිය.
1. පිරිසිදු රෙදි කැබැල්ලකට මද උණුසුම් ජලය පොඟවා විනාඩි පහක්, දහයක පමණ කාලයක් නඟනය මත ඉහළ ,පහළට තැවීම සිදු කරන්න.
2. සමන් පිච්ච කොළ, නෙල්ලි, කොහොඹ කොළ, දෙලුම් කොළ සියඹලා කොළ හෝ රත්මල් කැකුළු තැම්ඹු වතුරෙන් ඇස් සේදීම. (හොඳින් සෝදා පිරිසුදු කරගත් ඖෂධ කොළ භාවිත කළ යුතුයි)
3. රත් හඳුන් කුඩු , ඉඟිණි ඇට, කලාදුරු අල වෙන වෙනම කබලේ බැද
කුඩු කර මී පැණී වලින් අනා නගනය මත අලේප කරන්න.
4. කලාදුරු අල ඇල්දියෙන් ගලගා නගනය මත අලේප කරන්න.
5. සියඹලා ඇටයක් උණු අළු පල්ලේ දමා තම්බා පොත්ත ඉවත්කර මදය මී පැණිවලින් අනා ආලේප කරන්න.
6. ගංසූරිය කොළ තම්බාගත් වතුරෙන් ඇස සෝදන්න.
7. දාස්පෙතියා මල් පෙති හැඳි එකක් , උණු වතුරවතුර කෝප්ප කාලකට දමා එම වතුර වලින් පෙඟවූ පුළුන් කැබැල්ලකින් නගනය මත බාහිරින් ආලේප කරන්න.
8. මින්චි කොළ කිහිපයක් කුඩුකර නගන මත මිනිත්තු පහක් තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
9 . ලුණු වරණ කොළ, පොතු , අමු කහ , ලුණු ස්වල්පයක් එකතු කර කොටා පොට්ටනියක් සාදා එයින් නගනය තවන්න.
10. ගම්මිරිස් ඇටයක්, මී පැණිවලින් ගලගා නගනය මත අලෙප කරන්න.
11. හිමිදිරි උදෑසන අවදි වී කතා නොකර තුත්තිරි ගස්වල ගොබ යුෂ නගනය මත ආලේප කරන්න.
මීට අමතරව ඔබ මේ ගැනත් සැලකිලිමත් විය යුතුයි. නිතර නඟන එන කෙනෙකු නම්.
ඇස මත ආලේප කරන ආලේපන ප්‍රමිති ගත උසස් ඒවා වගේම , රාත්‍රියේදී නිවැරදිව එම ආලේපන ඉවත් කිරීමක් සිදුකළ යුතුයි.
ඇස් කාච භාවිතා කරනවනම් ඒවා හොඳින් ජීවානු හරණය කරන ලද ප්‍රමිති ගත ගත ඒවා භාවිත කළ යුතුයි.
පළතුරු, එළවලු, පලාවර්ග වැඩිපුර ආහාරයට ගැනීම , හොඳින් වතුර පානය කිරීමත් කළ යුතුයි.
ඒ වගේම නගනය නිතරම ස්පර්ශ කිරීමත් නොකළ යුතුයි.
තව කෙනෙකු භාවිත කළ ඇස් ඖෂධ ආලේපන භාවිත නොකිරීම කළ යුතුයි.
නිතරම මානසික සුවයෙන් පසුවීමත් කළ යුතුයි.
සටහන
මහේෂානි මීගහපොල
උපදෙස්
ආයුර්වේද වෛද්‍ය
ඉමාෂා උක්වත්ත

Leave a comment