හෙට දවසේ යෞවනය

යෞවනය මේ කියන තරමට යොවුන්කමත් වර්තමානයේදී තිබේද? කෑලි කෑලිවලට සීසීකඩ වූ විවිධ සංස්කෘතීන් නැතහොත් උපසංස්කෘතීන් හමුවේ පණ අදින නාය ගිය තාරුණ්‍ය ඉබාගාතේ යන යොවුන් ගැඹුරක්, හරයක්, අරමුණක් නැති Y සංගම්, සමුළු, සභාවන් මහා ගොන්නක් හැරුණු කොට වෙනත් තාරුණ්‍යයක් අප සතු වේද?

තාරුණ්‍යය යනු මනුෂ්‍යත්වය, අන්‍ය මත ඉවසීම, සාධාරණත්වය, ප්‍රගතිය, අභිනව අදහස් දැක්වීම, සත්‍ය ගවේෂණය වෙනුවෙන් වෙන් වූ කාල පරිච්ඡේදයයි. ඊටත් වඩා ශ්‍රේෂ්ඨ අරමුණු උපද්දවන ඒවා තුළ නලියන ඒවා පිළිබඳ අපූර්වතම අත්දැකීම්, නිමැවුම් නිර්මාණය කරන නවමු දෘෂ්ටියකින් සියල්ල දෙස බැලිය හැකි ජාතියක රටක අභිවෘද්ධිය, අනන්‍යතාව ලොවටම ඉගි කරන මිනිස් කොට්ඨාසයයි. එවැනි තාරුණ්‍යයක් අප සතුව තිබේද?

මුළු මහත් ලෝකයේ සියලු තාරුණ්‍යය කොටස් සිය අභිමානය, ශ්‍රේෂ්ඨත්වය ප්‍රදර්ශනය කරනු වස් විවිධ දේ සොයා ගනිති. නිර්මාණය කරති. සිතුවම් කරති. සංකල්ප හා සංකල්පනා ගොඩනගති. එහෙත් අපට එවැනි ඉලක්ක නැත. රූපලාවන්‍ය, නර්තනය, ගායනය, බටහිර සංස්කෘතිය කොපි ගසා අමු අමුවේ නිර්මාණ බිහි කිරීම, ඒවා විකිණීම, තමන් වටා ඉන්න පුද්ගලයන්ට වඩා ඔවුන්ගේ තරා තිරමට වඩා දශමයක් හෝ ඉදිරියෙන් සිටීම, ණය වී හෝ වාහනයක්, ඇඳුමක්, ජංගම දුරකථනයක් ගැනීම අපේ ලාංකික සංස්කෘතියේ බහුතර අරමුණ හා ප්‍රවේශයන් ඒවාය.
අතීතයේ අප උසස් අරමුණක් උදෙසා මෙහෙවරක යෙදුණු මිනිසුන් වූ බව අපි අපිම දනිමු. ජාතියේ හුස්ම පොද ජීවනාලිය තාරුණය වූ බව ද ඊටත් වඩා හොඳින් දැන සිටියෙමු. ඒ අරමුණු වලින් අප වෙතට සම්ප්‍රේෂණය කළ ශ්‍රේෂ්ඨත්වයක් තිබිණි. ඒ ශ්‍රේෂ්ඨත්වය විසින් අපව මෙහෙය වූ පරිකල්පනය අප ලොව උසස් ජාතියක් බවට නිර්මාණශීලී ජාතියක් බවට සුසමාහිත පෞරුෂයකින් යුත් ජාතියක් බවට පත් කළ වග සැබෑය. අද ඒ සියල්ල අප වෙතින් හීන වී සියල්ල අභාවයට ගොස් ඇත.

අද අපට ඉතිරිව ඇත්තේ පරිගණක නිසා මත්ද්‍රව්‍ය නිසා ජංගම දුරකතන නිසා ආතුර වූ තරුණ පරම්පරාවකි. මිනිස් ප්‍රජාවකි. නගරයක කලාගාර හා කෞතුකාගාර එරට ජීවත් වන මිනිසුන්ගේ ජිවිත වල වඩා පුළුල් හා වඩා ගැඹුරු අංශයන් විදහාපාන කවුළු මෙනැයි වරක් නේරුතුමා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක කියා තිබේ. අප රට තුළදී ඒ වෙනුවට කැසිනෝ ශාලා, සම්බාහන ආයතන, සමාජ ශාලා, හෝටල් දොර නිමැවෙමින් පවතී.
කලාගාර, කෞතුකාගාර ඉවත් කොට ඒ තැන්හි ඉහත කී ස්ථාන ප්‍රතිෂ්ඨාපන කිරීමට පිඹුරුපත් සැකසෙමින් පවතී. මේවායේ ඉලක්ක තරුණ ප්‍රජාව නොවේද? ඒ වෙනුවෙන් නැඹුරුතාව දක්වන තාරුණ්‍ය වළක්වාලිය හැකිද? මේ හෙට දවසේ අප හමුවේ තිබෙන දැවැන්තම ඛේදවාචකයයි.

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Previous

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි Read Next

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි

Realted Post

Leave a comment