ජයට යසට දෙස් විදෙස් බොහෝ දෙනා සමඟ ’’වසත් සිරිය 2023’’

 

"වසත් සිරිය - 2023" සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් (22) කොළඹ ෂැංග්‍රිලා ග්‍රීන් පරිශ්‍රයේ දී පැවැත්විණි.

“වසත් සිරිය 2023” අවුරුදු කුමරිය ලෙස කොටිකාවත්ත සිට පැමිණි ඉරුෂි කාව්‍යා අභිෂේක ලැබු අතර දෙවන ස්ථානය මොරටුව සිට පැමිණි තාරුකා රශ්මිනි සහ තෙවන ස්ථානය කුරුණෑගල, ගල්ගමුව සිට පැමිණි සුභාෂිනි පුෂ්පමාලා විසින් දිනා ගනු ලැබීය.


“වසත් සිරිය 2023” අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබුවේ මොරටුව සිට පැමිණි සුබෝධ ධනුෂ්කයි. දෙවන ස්ථානය විහඟ විකසිත සහ තෙවන ස්ථානය කිරිඳිවැල සිට පැමිණි ඩී. අවිශ්ක නිවර්තන විසින් දිනා ගනු ලැබීය.
අවුරුදු කුමරා සහ කුමරිය වෙනුවෙන් මුදලින් රුපියල් 150,000 බැගින් සහ රුපියල් ලක්ෂයක වටිනාකම් සහිත රන් ආභරණ ත්‍යාග වශයෙන් හිමි විය. දෙවන ස්ථාන සඳහා මුදලින් රුපියල් 100,000 බැගින් සහ තෙවන ස්ථාන සඳහා මුදලින් රුපියල් 50,000 බැගින් ද පිරිනැමිණ. අවසන් වටයට තේරි පත් වූ අවුරුදු කුමර කුමරියන් වෙනුවෙන් සැනසිලි ත්‍යාග සහ සහතික පත් ද ලබා දුනි. 


මැරතන් විවෘත (පිරිමි) තරගයේ ප්‍රථම ස්ථානය එච්.ඩී.එස්.ඩී.ගුණසේකර විසින් දිනාගත් අතර ඔහු වෙත රුපියල් 75,000ක් සහ දෙවන ස්ථානය දිනාගත් එම්. සිවරාජන් මහතා වෙත රුපියල් 50,000ක් සහ තෙවන ස්ථානය දිනාගත් කේ. ශාන්මුගේශ්වරන් මහතා වෙත රුපියල් 30,000ක් ත්‍යාග වශයෙන් ප්‍රදානය කෙරිණි. සිව්වන ස්ථානයේ සිට දස වන ස්ථානය දක්වා ජයග්‍රහණය කළ අයට රුපියල් 10,000 බැගින් ප්‍රදානය කිරීමට කටයුතු කෙරිණි. 


මැරතන් විවෘත (කාන්තා) තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේ එම්.බී.එස්. මධුමාලි පෙරේරායි. ඇය වෙත මුදලින් රුපියල් 50,000ක් හිමි වූ අතර, දෙවන ස්ථානය දිනාගත් එච්.එම්.එම්. හේරත් මෙනවිය වෙත රුපියල් 30,000ක්  සහ තෙවන ස්ථානය දිනාගත් කේ.ජී.එල්.එම්.ඒ කුමාරි මෙනවිය වෙත රුපියල් 20,000ක් ප්‍රදානය කෙරිණි. සිව්වන ස්ථානයේ සිට දස වන ස්ථානය දක්වා රුපියල් 7,500 බැගින් ප්‍රදානය කිරීමට කටයුතු කෙරිණි. 

ස්ටෑන්ඩඩ් පාපැදි සවාරියේ (පිරිමි) ප්‍රථම ස්ථානය අවිශ්ක මැඩොන්සා දිනාගත් අතර ඔහු වෙනුවෙන් රුපියල් 100,000ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණි. දෙවන ස්ථානය දිනාගත් එස්.ඒ.එස්. දිමන්ත මහතා වෙත රුපියල් 75,000ක් ද, තෙවන ස්ථානය දිනාගත් ගිහාන් පුෂ්පකුමාර මහතා වෙත රුපියල් 50,000ක් ද ප්‍රදානය කෙරිණි. 


ස්ටෑන්ඩඩ් පාපැදි සවාරියේ (කාන්තා) ප්‍රථම ස්ථානය ඒ.එම්.ඩී. දිල්රුක්ෂි මෙනවිය විසින් දිනාගත් අතර ඇය වෙනුවෙන් රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය දිනාගත් පී.ඒ.එස්. ප්‍රියදර්ශනී වෙත රුපියල් 40,000ක් ද, තෙවන ස්ථානය දිනාගත් මදුමාලි ප්‍රනාන්දු වෙත රුපියල් 30,000ක් ද ත්‍යාග ලෙස ප්‍රදානය කෙරිණි. 


කඹ ඇඳීමේ (පිරිමි) රාජ්‍ය අංශයේ ප්‍රථම ස්ථානය අගමැති ආරක්ෂක කොට්ඨාසය විසින් දිනාගත් අතර ඒ සඳහා මුදලින් රුපියල්  30,000ක ත්‍යාගයක් හිමි විය. දෙවන ස්ථානය දිනාගත් ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත රුපියල් 20,000 ක් ප්‍රදානය කෙරිණි. 


කඹ ඇඳීමේ (කාන්තා) රාජ්‍ය අංශයේ ප්‍රථම ස්ථානය ජනාධිපති මාධ්‍ය අංශය විසින් දිනාගත් අතර එම කණ්ඩායමට රුපියල් 30,000ක් සහ දෙවන ස්ථානය දිනාගත් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත රුපියල් 20,000 ක් ද ප්‍රදානය කෙරිණි. 


කඹ අඳීමේ (පිරිමි) විවෘත අංශයේ පළමු ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා A කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. ඔවුන්ට මුදලින් රුපියල් 80,000ක් හිමි විය. දෙවන ස්ථානය ඇලපිටිවල ලයන්ස් කණ්ඩායම දිනාගත් අතර ඔවුන්ට මුදලින් රුපියල් 60,000ක මුල්‍යමය ත්‍යාගයක් හිමි විය.


කඹ ඇඳීමේ (කාන්තා) විවෘත අංශයේ පළමු ස්ථානය දිනු ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමට රුපියල් 80,000 බැගිනුත් දෙවන ස්ථානය හිමිකරගත් අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසය වෙත රුපියල් 60,000ක් බැගිනුත් ප්‍රදානය කෙරිණි. 


රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03 යටතේ මෙහිදී තරග ඉසව් රැසක් පැවැත්වූ අතර අමාත්‍යාශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, ඔවුන්ගේ පවුල්වල හිතවතුන් මෙන්ම  දිවයිනේ විවිධ පළාත්වල ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.


වැඩිහිටි ජනතාව සහ කුඩා ළමුන් ඉතා උනන්දුවෙන් තරග ඉසව් සඳහා එක්ව සිටී අතර ජයග්‍රහණය කළ සෑම අයෙකුටම තිළිණ ලබා දීම සිදු විය.


ඇමරිකාව, එක්සත් රාජධානිය, ඉන්දියාව, පකිස්ථානය, නෙදර්ලන්තය, චීනය, ජපානය, පලස්තීනය, බංග්ලාදේශය, කියුබාව, මියන්මාරය, තායිලන්තය, කුවේට්, දකුණු කොරියාව, වියට්නාමය යන රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩල ද මීට එක්ව සිටි අතර මෙරට සංචාරය කරන විදෙස් සංචාරකයින්ට විනෝද විය හැකි තරග ඉසව් රැසක් සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

අතීත ගැමි සමාජයේ ගම සහ ගැමි ගෙදර අතර පැවති සුන්දර සබැඳියාව විදහා දක්වමින් ගැමි ගෙදරක් සහිත පරිසරයක අකෘතියක් ද මෙහි ප්‍රතිනිර්මාණය කර තිබු අතර කැවිලි පෙවිළි, ඇඳුම් පැළඳුම්, සිංහල අවුරුදු චාරිත්‍ර හා  ගැමි ක්‍රීඩා ඇතුළු  ප්‍රදර්ශනාත්මක අංග රැසක් ඊට ඇතුළත් කර තිබිණි. කතුරු ඔංචිල්ලා, උණ වෙඩි සංදර්ශන, කඩමණ්ඩිය සහ, වෙද ගෙදරකින් ද භූමිය විචිත්‍රවත් විය.


අවුරුදු උළෙල පැවති භූමිය වෙත ඊයේ දහවල් පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි සංචාරය කරමින් පැමිණ සිටි ජනතාව සමග සුහද පිළිසඳරක නිරත විය.


ගැමි ගෙදර, වෙද ගෙදර සහ කඩමණ්ඩිය වෙත පැමිණ ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා එහි අසිරිය විඳ ගැනිමට එක්ව සිටි විදේශිකයින්ගේ ද තොරතුරු විමසමින් ඔවුන් සමඟ සුහද කතා බහක යෙදිණි.


 තරග වලින් ජයග්‍රහණය කළ සංචාරකයන්ට සහ තරුණ තරුණියන්ට ත්‍යාග ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණු අතර කඹ ඇදිමේ තරගය ඇතුළු තරග ඉසව් කිහිපයක්  නැරඹීමට ද එක් විය.


මැරතන් ධාවන තරගය, ස්ටෑඩඩ් පාපැදි සවාරය, කඹ ඇදීම ඇතුළු තරග ඉසව්වලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ අනුග්‍රාහක ආයතනවල ප්‍රධානීහු සහ නියෝජිතයන් එක් වූහ.


අවුරුදු කුමරියන් අභිෂේක ලැබුවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශිකා ශෙනුකා සෙනෙවිරත්න සහ, කොළඹ හිටපු පුරපතිනිය රෝසි සේනානායක යන මහත්මීන් අතිනි. අවුරුදු කුමර, කුමරියන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ අනුග්‍රාහක භවතුන් එක්ව සිටියහ.


මේ අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද ඊයේ උදෑසන අවුරුදු උළෙල නැරඹීමට එක් වූ අතර කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රමුඛ රාජ්‍ය නිලධාරිහු වරින් වර අවුරුදු උත්සව භූමිය වෙත පැමිණ එම කටයුතු සමග එක් වූහ. 


“වසත් සිරිය 2023” මියැසි ප්‍රසංගය රාත්‍රී 7.00 ට එම ස්ථානයේ දී ආරම්භ විය. සහන් රන්වල ප්‍රමුඛ රන්වල බලකාය විසින් ඉදිරිපත් කරනු ලැබු අවුරුදු ප්‍රාසාංගික අත්දැකීමක්ද එහිදී එළිදැක්වුණු අතර අනතුරුව දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන මිඩ්ලේන්  සංගීත කණ්ඩායම ප්‍රසංගය ආරම්භ කරන ලදී.

ජනප්‍රිය ගායන ශිල්පීන් වන රූකාන්ත ගුණතිලක, සනුක වික්‍රමසිංහ, වින්ඩි ගුණතිලක, ටෂ්නි පෙරේරා, දුල්මිණ පෙරේරා,හිජාස් ටලීෂ්, අශන්‍යා ප්‍රේමදාස  යන ගායක ගායිකාවන්ගේ හඬින් “වසත් සිරිය 2023” මියැසි ප්‍රසංගය ගීතවත් වූ අතර එය නැරඹීමට ද  ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශය සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයීය සේවක සුබ සාධක සංගමය විසින් අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.

ව්‍යවාසිකාවක වගේම ආණ්ඩුකාරවරියක ලෙස ජීවිතය දිනූ ඇය Read Previous

ව්‍යවාසිකාවක වගේම ආණ්ඩුකාරවරියක ලෙස ජීවිතය දිනූ ඇය

සෝමසිරි මැදගෙදර Read Next

සෝමසිරි මැදගෙදර

Realted Post

Leave a comment