දියණිය වැඩෙන කාලයේදී මවක් අවධානය යොමු කළ යුතු පියයුරු සෞඛ්‍යය

ගැහැනු දරුවෙකු ළමා වියේ සිට නව යොවුන් වියට පා තබන විට ඇගේ සිරුරේ බොහෝ වෙනස්කම් සිදුවෙයි. ඒ අතර පියයුරු වර්ධනය වීම ද ස්වාභාවික ශාරීරික වෙනසකි. එහෙත් මෙවැනි වෙනස්කම් පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම නිසා ඇතැම් දරුවන් තුළ ලැජ්ජාව, බිය සහ මානසික අපහසුතා ඇති විය හැකිය.

විශේෂයෙන්ම පියයුරු වර්ධනය ආරම්භ වන අවධියේදී තම සිරුරේ සිදුවන වෙනස්කම් පිළිබඳව දරුවාට ගැටලු මතුවිය හැකිය. ඇතැම් විට ඒවා මව සමඟ පවා කතා කිරීමට දරුවා මැලිකමක් දක්වයි.

එවැනි අවස්ථාවක මවකගේ වගකීම වන්නේ දරුවාට උපදෙස් දීම පමණක් නොව, ඇයට විවෘතව තම ගැටලු පැවසිය හැකි සමීප මිතුරියක බවට පත්වීමයි.

වයසත් සමඟ වෙනස් වන සිරුර

නව යොවුන් වියට එළඹීමත් සමඟ හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හේතුවෙන් පියයුරු වර්ධනය ආරම්භ වෙයි. මෙම වර්ධනය සියලුම දරුවන්ට එකම වයසකදී හෝ එකම වේගයකින් සිදු නොවේ.

එක් පියයුරක් අනෙක් පියයුරට වඩා වේගයෙන් වර්ධනය වීම, ප්‍රමාණයේ සුළු වෙනස්කම් පැවතීම සහ පියයුරුවල සංවේදීතාව හෝ වේදනාව ඇතිවීම බොහෝ විට වැඩෙන වයසේදී දැකිය හැකි ස්වාභාවික වෙනස්කම් වේ.

මේවා නිසා දරුවා අනවශ්‍ය ලෙස බියට පත් නොවීමට මව වගබලා ගත යුතුය.

සංසන්දනය නොව අවබෝධය වැදගත්

නව යොවුන් විය යනු තම පෙනුම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන කාලයකි. මිතුරියන්ගේ ශරීර වර්ධනය සමඟ තමන්ගේ ශරීරය සංසන්දනය කිරීමට ඇතැම් දරුවන් පෙළඹෙති.

එහි ප්‍රතිඵලයක් ලෙස තමන්ගේ ශරීරයේ යම් අඩුපාඩුවක් තිබේද යන සැකය හෝ අනවශ්‍ය මානසික පීඩනයක් ඇති විය හැකිය.

එවැනි අවස්ථාවලදී සෑම දරුවෙකුගේම ශාරීරික වර්ධනය එකිනෙකට වෙනස් බවත්, එය ස්වාභාවික ක්‍රියාවලියක් බවත් මව ආදරයෙන් පැහැදිලි කර දිය යුතුය.

පෞද්ගලික පිරිසුදුකම සහ නිවැරදි ඇඳුම් තෝරාගැනීම

පියයුරු වර්ධනය වන අවධියේදී පෞද්ගලික පිරිසුදුකම පිළිබඳව දරුවා දැනුවත් කිරීම වැදගත්ය. එමෙන්ම යට ඇඳුම් තෝරාගැනීමේදී ශරීරයට ගැළපෙන, හොඳින් වාතාශ්‍රය ලැබෙන, අධික තද බවක් හෝ ලිහිල් බවක් නොමැති ඇඳුම් තෝරාගැනීමට උපදෙස් දිය යුතුය.

යට ඇඳුම් තෝරාගැනීමේදී දරුවාගේ පහසුව සහ කැමැත්ත පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත්ය.

මවක් විය යුත්තේ විශ්වාසවන්ත මිතුරියක්

දරුවාගේ පියයුරු වර්ධනය, ශරීරයේ වෙනස්කම් සහ සෞඛ්‍ය ගැටලු පිළිබඳව විවෘතව කතා කිරීම ලැජ්ජාවට කරුණක් නොවන බව ඇයට කියා දිය යුතුය.

දරුවා යම් වෙනසක් පිළිබඳව පැවසූ විට එය නොසලකා හැරීම හෝ විහිළුවට ගැනීම සුදුසු නැත. ඇයගේ ගැටලුවට සවන් දී අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කළ යුතුය.

දියණියකගේ වැඩෙන වයස යනු ඇගේ සිරුර පමණක් නොව මානසිකත්වය ද වෙනස් වන සංවේදී කාලයකි. එබැවින් මවකගේ ආදරය, අවබෝධය සහ නිවැරදි මඟපෙන්වීම ඇයට ශාරීරිකව මෙන්ම මානසිකව ද සෞඛ්‍ය සම්පන්නව වැඩීමට මහත් ශක්තියක් වනු ඇත.

සටහන – මහේෂානි මීගහපොල

උපදෙස් – ආයුර්වේද වෛද්‍ය තිළිණි අබයරත්න

විශ්‍රාමික ගුරු විදුහල්පතිවරු විශ්‍රාම වැටප් වැඩිීවීම් ඉල්ලා විරෝධතාවයක Read Previous

විශ්‍රාමික ගුරු විදුහල්පතිවරු විශ්‍රාම වැටප් වැඩිීවීම් ඉල්ලා විරෝධතාවයක

පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - SP Read Next

පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - SP

Realted Post

Leave a comment