රජය අයවැය ඉදිරිපත් කරන්නේ රටේ සැබෑ තත්ත්වයේ නිවැරදි දත්ත සඟවලා - විපක්ෂ නායක

රජය අයවැය ගැන කතා කරන්නේ සැබෑ දත්ත සගවා බවත් බොරු දත්ත නිර්මාණය කර තමන්ට අවශ්‍ය දේ සාක්ෂාත් කරන වංචාකාර වැඩපිළිවෙළක් වත්මන් රජය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 2027 අයවැය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්, මහාචාර්යවරුන් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ පැවැති පූර්ව අයවැය වැඩමුළුව අමතමිනි.

ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක අපේක්ෂකවරයාට 42%ක් ද සමගි ජන බලවේගයට 32%ක්ද ඡන්ද ලැබුණු බවත් 74%ක් ජනතා වරම ලැබුණේ නව IMF ගිවිසුමක් කරා යාමට බවත් ජනතා විමුක්ති පෙරමුණ සේම සමගි ජන බලවේගය ද නව IMF ගිවිසුමක් කරා යන බව මැතිවරණ සමයේ පැවසුවත් බලය ලැබුණු ජවිපේ ඒ ජන වරමට පයින් ගසා ජනතාව අසහනයට පීඩනයට පත් කර IMF ගිවිසුම සංශෝධනය නොකර දෙබිඩි පිළිවෙතක් අනුගමනය කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය රජයේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති පවා මේ රජය අභිබවා ගියා

කවුරු බලයට පත් වුවත් හැමදාම දිනන්නේ ත්‍රිලියනපතියන හා බිලියනපතියන් බවත් මොවුන්ට රටේ ඇති අභියෝග හමුවේ කැපකිරීම් කළ නොහැකි නිසා IMF කොන්දේසි නිසා වැඩ කරන ජනතාවගේ EPF/ ETF පිට්පොකට් ගැසූ බවත් බැංකු ක්ෂේත්‍රයට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී කිසිදු පාඩුවක් නොවු බවත් මුදල්වල පාලන කොටස් ආරක්ෂා කර IMF ගිවිසුම හරහා වැඩකරන ජනතාවගේ අර්ථසාධකය කොල්ලකෑ බවත් වත්මන් රජය පසුගිය රජයේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තියට එහා ගොස් එපා කියූ IMF ගිවිසුම ඒ ආකාරයෙන්ම අනුගමනය කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලක්ෂ 220 සුරකින නව IMF ගිවිසුමක් අවශ්‍යය

අපේ ණය සාකච්ඡා සිදු කළේ ලැසාර්ඩ් යන ආයතනය බවත් ශ්‍රී ලංකාවේ ණය සේම ඝානාවේ මෙන්ම සැම්බියාවේත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ බවත් එහි දී අප රටට ලැබුණේ Macro link bond බවත් එනම් ණය ආර්ථික වර්ධන ණය උගුලකට අප රට පැටවීම බවත් මේ අනුව අප රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වන විට ගෙවිය යුතු ණය ප්‍රමාණය වැඩි වීම සිදුවන බවත් පසුගිය දිනවල IMF එක විපක්ෂය හමුවූ අවස්ථාවේ දී ප්‍රතිචාරක IMF ගිවිසුමක් අවශ්‍ය බව පැවසූ බවත් රටට හිතකර කුප්‍රකට ධනපතියන් සුරක්ෂා නොකරන රට රකින ලක්ෂ 220ට ප්‍රමුඛස්ථානය ලබා දෙන IMF ගිවිසුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රජය IMF ඉලක්ක අභිබවා ගොස් බදු අය කර ගත්තා

මේ රජය IMF කියන ප්‍රමාණයට වඩා බදු ගසා ප්‍රාථමික අතිරික්තයක් ඇති කර ගත් බවත් 2.3 සිට 5.4 දක්වා බදු ගැසීමෙන් වැඩි කර ගත් බවත් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 13.9 සිට 15.4 දක්වා බදු ගසා වැඩි කර ගත් බවත් අදටත් සමගි ජන බලවේගය මේ බදු බර අඩු කර ගැනීමට අදාළ කරුණු ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අදටත් මේ රජය ඉදිරිපත් කරන්නේ බොරු දත්ත

රටේ එක් පුද්ගලයකු රු. 17000කින් ජීවත් වෙන්නේ කොහොමද සම්බන්ධයෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී රජය කියන්නේ මේ ප්‍රමාණය මනින්නේ එක් පුද්ගලයකුට අවශ්‍ය දෛනික කිලෝ කැලරි 2030 අනුව බවත් MRI යන ආයතනයේ දත්ත අනුව ක්‍රියාකාරි පිරිමියකුට කිලෝ කැලරි 3340ක් සාමාන්‍ය පිරිමියකුට 2340ක් ක්‍රියාකාරි කාන්තාවකට 2680ක් සහ සාමාන්‍ය කාන්තාවකට 1890ක් කිලෝකැලරි අවශ්‍ය බවත් අදටත් මේ රජය දුප්පත්කම නිර්ණය කරන්නේ බොරු දත්ත මත පදනම්ව බවත් ලෝක බැංකු දත්ත අනුව අප රටෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් දුප්පත් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දැන්වත් නිවැරදි දත්ත මත ක්‍රියාත්මක වන දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි

අදටත් අස්වැසුම ලබා දෙන්නේ නිවැරදි ප්‍රතිලාභීන්ටද කියා ගැටලුවක් ඇති බවත් සමෘද්ධි වැඩසටහන මෙන් සුදුස්සන්ට සහන නොලැබීමත් නුසුදුස්සන්ට සහනාධාර ලැබීමත් සිදුවන බවත් අස්වැසුම ලබා දෙන්න ගමේ සිටින රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කර නොගෙන තෝරාගත් කණ්ඩායමක් තුළින් අදාළ පුද්ගලයන් තෝරාගත් බවත් දැන්වත් සංශෝධිත ජනසවිය වැඩපිළිවෙළක් දුප්පත්කම තුරන් කරන්න අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් ජනතාවට සහන සලසන නව ක්‍රමවේදයක් රටට අවශ්‍යයි

කෘෂිකර්ම, ධීවර, කම්කරු, බුද්ධිමතුන් ආදිය ගොඩනැගිය යුතු බවත් තරුණයන් සේම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් අවශ්‍ය බවත් නව ව්‍යවාසයකයන් මිලියනයක් ගොඩ නැගීමේ ව්‍යාපෘතිය සඳහා අලුත් සංවර්ධන බැංකුවක් නිර්මාණය කළ යුතු වුවත් තවමත් එය නොවන බවත් ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ගොඩනංවන්න මුදල් වෙන් කළත් අමාරුවේ සිටින ව්‍යවසායකයන්ට මේ මුදල් නොලැබෙන බවත් 2022 ආර්ථික අර්බුධය හමුවේ 250000ක් පමණ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැසී ගිය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අයවැය ඉදිරිපත් කිරීමේ දී රජය ප්‍රකාශ කළ දේ කළ යුතු බවත් 33%කින් විදුලි බිල අඩු කිරීම, වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීම, ලක්ෂ 12 විට්ස් කාර් හා 50000 මෝටර්සයිකල් ලබා දීම සිදුවිය යුතු බවත් පාසල් උපකරණවලින් වැට් අයින් කරනවා කිව්වත් අදටත් එය නොකළ බවත් මේවා ගැන රජයට මතක් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියෝ පාප්තුමා ලතින් ඇමෙරිකා සංචාරයක් අරඹයි Read Previous

ලියෝ පාප්තුමා ලතින් ඇමෙරිකා සංචාරයක් අරඹයි

අන්තර් දෙපාර්තමේන්තුට සුවිශේෂී ජයග්‍රහණයක් Read Next

අන්තර් දෙපාර්තමේන්තුට සුවිශේෂී ජයග්‍රහණයක්

Realted Post

Leave a comment