කමුද කටු අනෝදා මෙහෙම
අනෝදා කියන්නේ අපේ රටේ ඕනෑම පළාතක වැවෙන රසවත් වගේම ගුණවත් පලතුරක්.
මෙම පලතුර රසවත් ලෙස කෑවත් ගුණ ගැන සමහරු එතරම් දන්නේ නෑ නේද? මෙවර සිරිකත ගමේ රස තුළින් අනෝදා කෑමට ගන්න වෙනස් ලෙස වගේම ගුණ ගැන කතා කරන්න අපි හිතුවා.
අනෝදා කියන්නේ විටමින් බී, විටමින් සී ,කැල්සියම්, ප්‍රතිශක්තිය වඩවන, ආතතිය දුරලන, දියවැඩියාව පාලනය කරවන, රුධිර පීඩනය පාලනය කරවන, සමේ රෝග නසන ,සන්ධි වේදනා සමනය කරන ,ශරීර ශක්තිය වඩවන, හෘද සෞඛ්‍යයට ගුණ ,හිසකෙස් වලට ගුණදායි, ශරීර ශක්තිය වඩවන, මළබද්දය දුරුකරවන මෙවැනි ගුණ රැසක් ලබාදෙන කටු අනෝදා වලින් රසවත් කෑම වට්ටෝරු කිහිපයක් සාදාගන්නා අයුරු තමයි පහත ඉදිරිපත් කර තිබෙන්නේ.
01. මස් රසට කටු අනෝදා .
- අවශ්‍ය ද්‍රව්‍ය.
- කැබලි කරගත් හොඳින් පැසුණු කටු අනෝද ගෙඩියක්.
- මස්කරි තුනපහ මේස හැන්දක්.
- මිරිස් කුඩු මේස හැන්දක්.
- තුනපහ කුඩු මේස හැන්දක්.
- කහ කුඩු මේස හැඳි කාලක්.
- සිහින්ව කැපූ රතුලූනු ගෙඩි පහක්.
- සිහින්ව කැපු අමු මිරිස් කරල් තුනක්.
- තීරුවට කැපු තක්කාලි ගෙඩියක්.
- රම්පේ, කරපිංචා.
- කුරුදු පොත්තක්.
- අබ ඇට ස්වල්පයක්.
- මිටි කිරි කෝප්ප භාගයක්.
- උළු හාල් ඇට ස්වල්පයක්.
- තෙල් මේස හැඳි දෙකක් .
- රන්වන් පැහැයට බැද අඹරාගත් කැකුළු සහල් ස්වල්පයක්.
- රන්වන් පැහැයට බැඳ අඹරා ගත් පොල් ස්වල්පයක්.
- රස අනුව ලුණු.
- සුදු ලූනු බික් දෙකක්.
- වතුර කෝප්ප එකහමාරක්.
සාදන අයුරු.
ඇතිළියකට තෙල් දමා ලිප තබා අබ ,උළුහාල් ,රම්පේ, කරපිංචා ,කුරුදු, ලුණු , ගම්ම්රිස්, සුදුලූනු ,මස්කාරී ,කහ, මිරිස්කුඩු, තුන පහ ,අනෝදා, වතුර දමා කලවම් කර තම්බාගන්න.
පසුව එයට බැද අඹරා ගත් පොල්, හාල් කුඩු එකතුකර මිටිකිරි එකතු කර මඳ ගින්දරේ තම්බාගන්න.
02. දෙල් රස පරදවන කටු අනෝදා වෑංජනය.
- අවශ්‍ය ද්‍රව්‍ය.
- හොඳින් පැසුණු කුඩාවට කපාගත් කටු අනෝදා ගෙඩියක්.
- සිහින්ව කැපූ බී ලූනු ගෙඩියක්.
- සිහින්ව කැපූ සුදුලූණු බික්
- දෙකක් .
- තුනපහ මේස හැන්දක් .
- කහ කුඩු මේස හැඳි කාලක්.
- රම්පේ, කරපිංචා .
- උළු හාල් ඇට ස්වල්පයක්.
- අබ ඇට ස්වල්පයක්.
- මිටි කිරි කෝප්පයක්.
- දිය කිරි කෝප්ප එකහමාරක්.
- තෙල් මේස හැඳි දෙකක් .
- රස අනුව ලුණු .
- දෙහි ගෙඩියක යුෂ.
සාදන අයුරු.
ඇතිළියකට තෙල් දමා ලිප තබා රත්වන විට අබ ,උළුහාල්, බී ලූනු , සුදුලූනු ,රම්පෙ , කරපිංචා අමු මිරිස්, මිරිස් කූඩු, තුන පහ,කහ, කුරුදු ,අනෝදා දියකිරි දමා කලවම් කරන්න.
මෙය සිඳීගෙන එන විට මිටිකිරි, රස අනුව ලුණු එකතු කර මඳ ගින්දරේ පිසගන්න.
03. රසවත් ගුණවත් කටු අනෝදා පානය.
- අවශ්‍ය ද්‍රව්‍ය.
- ඉඳුණු කටු අනෝදා ගෙඩියක් (කැබලි කපාගන්න) .
- දෙහි ගෙඩියක යුෂ.
- රස අනුව ලුණු .
- සීනි මේස හැඳි තුනක්.
- වතුර වීදුරු දෙකක්.
- අයිස් කැට කිහිපයක්.
සාදන අයුරු
Blender Cup එකක් ගෙන අනෝදා, ගම්මිරිස් ,ලුණු, දෙහි, වතුර දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.
පසුව එය වීදුරුවකට දමා අයිස් කැටද එකතු කරන්න.
සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ලංකා සූපවේදී සංගමයේ කමිටු සාමාජික ප්‍රවීණ සූපවේදී ලසන්ත රාජපක්ෂ

Leave a comment