රස බලන්නම ඕන සාම්ප්‍රදායික රසකැවිලි 5ක්

එංගලන්තය කියන්නේ සුන්දර ගම්බද ප්‍රදේශ, පැරණි තැබෑරුම්, උණුසුම් තේ කෝප්ප සහ අපූරු ආහාර සංස්කෘතියකට හිමිකම් කියන රටක්. ඒ අතරින් එරට සාම්ප්‍රදායික අතුරුපසවලට හිමිවන්නේද සුවිශේෂී ස්ථානයක්. පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන මෙම රසකැවිලි රසයෙන් පමණක් නොව, එංගලන්තයේ ඉතිහාසය හා ආහාර සංස්කෘතියද කියාපායි.

එංගලන්තයට සංචාරය කරන ඔබ රසකැවිලිවලට ප්‍රිය කරන කෙනෙක් නම්, එරටටම ආවේණික මෙම සාම්ප්‍රදායික අතුරුපස පහ රස බලන්න අමතක නොකරන්න.

Sticky Toffee Pudding

එංගලන්තයේ ජනප්‍රියම සාම්ප්‍රදායික අතුරුපස අතර Sticky Toffee Pudding හෙවත් ටොෆි සෝස් සමඟ පිළිගන්වන මෘදු පුඩිමට හිමිවන්නේ විශේෂ ස්ථානයකි.

රට ඉඳි සිහින්ව කපා එකතු කර සාදන මෘදු කේක් වැනි පුඩිමක් වන මෙය උණුසුම් ටොෆි සෝස්වලින් පිරී තිබේ. සාමාන්‍යයෙන් එය කස්ටඩ් හෝ වැනිලා අයිස්ක්‍රීම් සමඟ පිළිගන්වයි.

සීතල දවසක සංචාරයක නිරතව සිටින විට උණුසුම් Sticky Toffee Pudding එකක් රස බැලීම අපූරු අත්දැකීමක් වනු ඇත.

 Apple Crumble

එංගලන්තයේ තවත් ජනප්‍රිය සාම්ප්‍රදායික අතුරුපසක් වන්නේ Apple Crumble ය.

රසවත් ඇපල් සමඟ බටර් මිශ්‍ර කළ කුඩුමය ආවරණයක් එක්කර සාදන මෙහි විශේෂත්වය වන්නේ ඇපල්වල ඇති මද ඇඹුල් රසය සහ පැණි රස අතර ඇති අපූරු සංයෝජනයයි.

සාමාන්‍යයෙන් උණුසුම්ව පිළිගන්වන Apple Crumble කස්ටඩ් සමඟ ආහාරයට ගැනීම එංගලන්තයේ ජනප්‍රිය සම්ප්‍රදායකි. රට පුරා ඇති බොහෝ පබ් සහ ආපනශාලාවලද මෙය දැකගත හැකිය.

Eton Mess

බර පුඩිම්වලට වඩා සැහැල්ලු හා නැවුම් රසයක් සොයන අයට Eton Mess කදිම තේරීමකි.

කුඩු කළ මෙරින්ග්, විප් කළ ක්‍රීම් සහ නැවුම් ස්ට්‍රෝබෙරි එකට එක්කර මෙය සකස් කරයි.

එංගලන්තයේ සුප්‍රසිද්ධ Eton College සමඟ සම්බන්ධ මෙම අතුරුපස විශේෂයෙන් උණුසුම් කාලගුණයක් පවතින මාසවල ජනප්‍රියය.

මෙහි හැපෙනසුළු මෙරින්ග්, මෘදු ක්‍රීම් සහ නැවුම් පලතුරුවල රස එකට එක්වීම නිසා එය සාම්ප්‍රදායික බර පුඩිම්වලට වඩා වෙනස් අත්දැකීමක් ලබා දෙයි.

Spotted Dick

නම ඇසූ විට ඇතැම් විට පුදුමයක් ඇති කළත්, Spotted Dick යනු එංගලන්තයේ දිගු ඉතිහාසයක් ඇති සාම්ප්‍රදායික පුඩිමකි.

වියළි පලතුරු එකතු කර සාදන මෙම suet pudding එකේ ඇති විශේෂ “ලප” නිසා එයට මෙම නම ලැබී තිබේ.

සාමාන්‍යයෙන් කස්ටඩ් සමඟ පිළිගන්වන Spotted Dick රසයෙන් තරමක් බර, පෝෂ්‍යදායී සහ එංගලන්තයේ පැරණි ආහාර සම්ප්‍රදාය සිහිගන්වන අතුරුපසකි.

Victoria Sponge Cake

එංගලන්තයේ සාම්ප්‍රදායික රසකැවිලි ගැන කතා කරන විට Victoria Sponge Cake අමතක කළ නොහැකිය.

එංගලන්තයේ වික්ටෝරියා රැජිනගේ නමින් නම් කර ඇති මෙම සැහැල්ලු ස්පොන්ජ් කේක් එක සාමාන්‍යයෙන් ජෑම් සහ ක්‍රීම් අතරට දමා සකස් කරයි.

විශේෂයෙන්ම ඉංග්‍රීසි afternoon tea සම්ප්‍රදාය සමඟ සමීපව බැඳී ඇති Victoria Sponge Cake එකක් උණුසුම් තේ කෝප්පයක් සමඟ රස බැලීම සැබෑ එංගලන්ත අත්දැකීමක් ලෙස හැඳින්විය හැකිය.

 එංගලන්තයේ රසය සොයා යන සංචාරයකදී...

එංගලන්තයේ සාම්ප්‍රදායික අතුරුපස සෑම විටම අලංකාර සැරසිලිවලින් පිරුණු හෝ අතිශය සංකීර්ණ ආහාර නොවුණත්, ඒවායේ ඇති සරල රසය, උණුසුම් බව සහ පරම්පරා ගණනාවක් පුරා පැවත එන සම්ප්‍රදාය ඒවාට සුවිශේෂී වටිනාකමක් ලබා දෙයි. ගම්බද ප්‍රදේශයක පැරණි පබ් එකක පිළිගන්වන උණුසුම් පුඩිමක සිට සාම්ප්‍රදායික afternoon tea සමඟ රස බලන කේක් කැබැල්ලක් දක්වා, මේ සෑම අතුරුපසක්ම එංගලන්තයේ ආහාර සංස්කෘතියේ වෙනස්ම පැතිකඩක් සංචාරකයාට අත්විඳීමට අවස්ථාව සලසයි.ඒ නිසා එංගලන්තයේ සංචාරයක යෙදෙන අවස්ථාවක සුපුරුදු ආහාරවලට පමණක් සීමා නොවී, එරටේ සාම්ප්‍රදායික රසකැවිලි කිහිපයක්ද රස බලා බලන්න.

අශන්ති වරුණසූරිය 

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක් Read Previous

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක්

අභිරහස් ගවේෂණයට කැමති ඔබට, ඒවන ස්ථාන ගොඩක් Read Next

අභිරහස් ගවේෂණයට කැමති ඔබට, ඒවන ස්ථාන ගොඩක්

Realted Post

Leave a comment