යාය හතරෙ ලියන්නී වරා මලයි ශාන්තී - සම්මානනීය ලේඛිකා ශාන්ති දිසානායකගේ ජීවිත අරුමැසිය
වසර 1997 පැවැති ඩී.ආර්. විජේවර්ධන නවකතා අත්පිටපත් තරගයේ ජයග්‍රාහිකාව ඇය විය. ඈ විසින් ලියන ලද වරාමල් නවකතාව සඳහා එම සම්මානනීය ඇගයීම සිදුකෙරිණි. 1998 වර්ෂයේ දී ඇගේ කුළුඳුල් නවකතාව ලෙස වරාමල් මුද්‍රණද්වාරයෙන් පිටවනුයේ ඒ අනුවය. 1999 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් ‘විද්‍යෝදය’ සම්මානයෙන් වරාමල් පුදදෙනු ලැබීම ඇගේ ගමන ආලෝකමත් කරන්නක්ම විය.
ඉනික්බිතිව අද රටම දන්නා නුවර කලාවියේ සම්මානිත ලේඛිකාව ඇයම විය. සෙනෙහෙබර කැදැල්ලක ආදරණීය මාතාවද ඇයම විය. නවකතා, කෙටිකතා, යොවුන් නවකතා, ළමා කතා ආදියෙන් සමන්විතව පොත් පනහකට ආසන්නව ලියා පලකරන්නියද ඇයම විය. සිය නිර්ව්‍යාජ ආත්ම ප්‍රකාශනය පොත් පිටු සමග මුහුකරන්නිය ද ඇයම විය. ඇය ශාන්ති දිසානායක නම් විය. අදත් අනුරාධපුරයේ, කටියාව ගොවි ජනපදයේ, සේනපුර ගම්මැද්දට වී දිවි ගෙවන ඈ සොයා ඉකුත් දිනක අපි එහි ගියෙමු.
- මුලින්ම ලිව්වෙ වරාමල්
“ඉස්සර මම කවි ලියලා පත්තරවලට දානවා. ඒවා පළවුණාම හරි සතුටුයි. එහෙම ඉන්න ගමන් තමයි වරාමල් ලිව්වේ. අත්පිටපත් තරගයෙන් දිනුවට පස්සේ සරසවි ප්‍රකාශකයන්ට තමයි වරාමල් පොත මුද්‍රණය කරන්න භාරදුන්නේ. තාත්තා අඳුනන යාළුවෙක් තමයි ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක්වුණු කිත්සිරි නිමල්ශාන්ත මහතා. ඔහු තමයි සරසවි එකෙන් පොත මුද්‍රණය කරන්න කතා කරලා දුන්නේ.”
ශාන්ති එසේ පවසන්නීය. 1968 වර්ෂයේ නිකිණි මහේ 21 වැනිදාවක මුදියන්සේ දිසානායක සහ එච්.එම්. නන්දාවතී යුවළට දාව උපන් ඇය සිය විවාහය ඇවෑමෙන් වත්මනෙහි පුතුන් පස්දෙනෙකුට සෙනෙහෙබර මව වී සිටින්නීය. ශාන්ති ලියන ලද නවකතා බොහෝමයක් පිරී ඇත්තේ ඈ දිවිගෙවූ ගම්මැදිවල ජීවන අත්දැකීම්වලිනි. ඇගේ පොත් පිටු අතර හමුවන බොහෝ චරිත මේ ගම්මැදිවල දිවි ගෙවූ අයම වෙති. ඒ බොහෝ චරිත සිය ආත්ම ප්‍රකාශනය මගින් ඇය ඔප දැමීය. විටෙක කියවීමට ඉමහත් සේ ආසක්ත වන ඈ පසු කලෙකදී සිය ලිවීමේ කලාව එතුළින්ම පාදාගත්තාය. ශාන්ති මෙසේ පවසන්නීය.
- කියවීමේ පුරුද්ද ලිවීමේ පුරුද්දට
“තාත්තා සිල්ලර කඩයක් කළා. ඉතිං කඩේට ගන්න පත්තරේ කියවන එක නිකම්ම පුරුද්දක් වුණා. ඊටපස්සෙ කඩේට බඩු ඔතන්න ගේන පත්තරත් අරගෙන කියවන්න ගත්තා. අවුරුදු දහයේ වගේ කාලේ ඉඳන්ම මං කටියාව පුස්තකාලේ සාමාජිකාවක් වෙලා හිටියේ. සමහර දවස්වලට ගෙනෙන පොත එවෙලෙම කියවලා එදා සවසට ආයෙත් පොතක් ගෙනැල්ලා කියවන්න ගන්නවා. එහෙම පොත් කියවන කොට තමයි මාත් මොනව හරි ලියන්න ඕනෑ කියන අදහස ආවේ. තාත්තා මාව හරියට උනන්දු කළා ඒ දේවල් වලට.”
කටියාව ගොවි ජනපදයේ දුටුගැමුණු මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති ශාන්ති දිසානායක ඉනික්බිතිව කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය වෙත ගොස් ඇත්තේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වීම හේතුවෙනි. මිනිස් ඇසුරටත්, විවිධ තැන් වෙත ඇවිද යෑමටත් තිබු කැමැත්ත ද පසුකාලීනව ඇගේ ලිවීමේ කලාවට මහෝපකාරයක්ම වී තිබේ. දශක කිහිපයක් තිස්සේ සිදුව ඇති සමාජ, ආර්ථික, දේශපාලනික පරිවර්තන හමුවේ වුවද අදත් එසේ උකහාගත් අත්දැකීම් ඇගේ මනෝ ලෝකය මුවහත් කරවයි. ඇය මෙසේ පැවසුවාය.
- නිර්මාණ උල්පත් පෑදෙන මග
“නිදහස්ව ලියන කෙනෙක් මේ ලෝකේ එක තනි යායක් විදිහට දකින්න ඕනෑ කියලා මට හිතෙන්නේ. අනිත් එක ලේඛන කලාවට යොමුවුණු කෙනෙක් අනෙකුත් කලා මාධ්‍ය ඇසුරු කරන්න ඕනෑ. ඒ කාලේ ගුවන් විදුලියට සවන්දීම පුරුද්දක් වෙලා තිබුණා. ඒ හැරුනහම රූපවාහිනිය, සිනමාව, අන්තර්ජාලය වගේ මාධ්‍ය ඇසුරු කරන එකත් ලියන කෙනෙකුට හරි වටිනවා. ලේඛන කලාවෙ නිරත කෙනෙක් පොත්, පත්තර කියවන එකටම සීමාවෙන්න ඕන නැහැ. අනෙක් මාධ්‍යවල තිබෙන සුන්දර දේවල් ලියන කලාවට එකතු කරගන්න පුළුවන්. සොබාදහම වගේම මානව සමාජය ගැන තියෙන අවංක හැගීම තමයි ලේඛකයෙකුට තියෙන වටිනාම මෙවලම. එතකොට නිකම්ම නිර්මාණ උල්පත් පෑදෙනවා.
- පොත් පෙළක් - ටෙලි නාට්‍ය රැසක්
වරාමල්, වංකගිරිය, ගිරිකුල, හැන්දෑව, හිරුමඬල, ද්වාර, දොළොස්මහ, දේදුන්න, එරන්ළන්දු, ගිගිරි, පරඬැල්, වාලුකා, අංගනා, අමල්බිසෝ, පුළිඟු, ළපලු, සඳමඬල, වේතරණ, නාරි, මව්ලි, අඳුන්ගිර, වීනා, දූවිලි, සංග්‍රාමය, ආගාධ ආදි ලෙස ඇගේ සිත් විලෙහි උත්පාදව පොත් පිටු අතරට ආ නවකතා ගණනාවකි. මින් සංග්‍රාමය නවකතාව ධවල දූවිලි නමින් අනුරුද්ධ ජයසිංහ සිනමාවට නැගීය. එහෙත් එය තවමත් සිනමා ශාලා වෙත ආයේ නැත.
මෑතකාලීනව මෙරට රූපවාහිනී මාධ්‍ය තුළ අතිශය ජනාදරයට පත් වූ සම්මානිත ටෙලි කතා ගණනාවකට පාදකව ඇත්තේ ද ශාන්ති ලියූ නවකතා ගොන්නෙන් කිහිපයකි. ඇගේ අග්නි නවකතාව කවිය නුඹ නමින් ටෙලි තිරයට එන්නේ ඒ අනුවය. ගිරිකුළ, හැන්දෑව, එරන්ළන්දු ආදි නවකතා එනමින්ම ටෙලි නාට්‍ය නිර්මාණ වී ආලින්දයට ආයේය. එමෙන්ම පරඬැල් නවකතාව සකර්ම නමින්ද, හිරුමඬල, මද්දහන නමින්ද, වාලුකා, මහ පොළොව නමින්ද පුංචි තිරයෙන් සුවහසක් හදවත් ආමන්ත්‍රණය කළේය. ඇය සිය ජීවිත අරුමැසිය හා මුහු වූ ලිවීමේ කලාව පිළිබඳව මෙසේ සිහිපත් කළාය.
- ලියාපු කොළ අරන් ඔරු හදලා
“මං කරන්නෙ එක දිගට ලියාගෙන යන එක. සතියකට විතර පස්සේ අනුන්ගේ පිටපතක් කියවනවා වගේ හිතලා බලලා ආපහු අඩුපාඩු හදනවා. හිතට එන අදහස ඒ මොහොතේ ලිව්වේ නැත්නම් ඒක ආයේ මොන විදිහකින්වත් ලියන්න බෑ. මම ලියලා තියෙන කඩදාසි අරගෙන පුතාලා සෙල්ලම් ඔරු හදපු වෙලාවල් එහෙම තියෙනවා. මං ලියනවා කියලා දරුවෝ දන්නේ නෑ ඒ ගොල්ලෝ ලොකු වෙනතුරුම. එක්කෝ එයාලා ඉස්කෝලේ ගියහම තමයි ලියන්නේ. නැත්නම් එයාලා නිදාගත්තම රෑට හරි පාන්දරට හරි ලියනවා. ළමයි පොඩි කාලේ දවසක් මගේ පොතක් ටෙලි නාට්‍යයකට ගන්න අහන්න කොළඹ ඉඳලා කට්ටියක් ඇවිත් තියෙනවා. එතකොට මිදුලේ සෙල්ලම් කර කර හිටපු පුතාලගෙන් ඒගොල්ලෝ අහලා තියෙනවා අර පොත් ලියන ශාන්ති ඉන්නවද කියලා. එතකොට ලොකු පුතා කියලා තියෙනවා පොත් ලියන ශාන්ති නෙමෙයි බත් උයන ශාන්ති නම් ඉන්නවා කියලා.”
- මොන දේ කළත් වැඩක් නෑ ඒ දේ කරන්න බැරි නම්
“මම පොත් ලියලා සම්මාන ගත්තට මගෙන් ගෙදරට ඉෂ්ටවෙන්න ඕනෑ යුතුකම් ටිකක් තියෙනවා. ඒක නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ. අනිත් මොනදේ කෙරුවත් වැඩක් නෑ මට ඒ ටික කරන්න බැරිනම්. සමහරු කුස්සියට යන්ඩ හරි අකැමැතියි. මට නම් බතක් මාළුවක් උයනවා කියන එක සතුටට කාරණයක්. ඒක අවලාද කියන්ඩ හේතුවක් නෙමෙයි. මැසිවිලි කියනවට වැඩිය මං බලන්නේ නිතරම තියෙන දේත් එක්ක ජීවිතය විඳින්ඩ. ජීවිතයේ සතුට හරි දුක හරි උපදින්නේ අපි තුළින්මයි. ඒකට වෙන කෙනෙක් හේතුවක් නෙමෙයි. හෙට මොකක් වෙයිද කියලා අද කියන්න බෑ. ඒ නිසා මට නම් මේ මොහොත සතුටින් ඉන්න එක තමයි ජීවිතය. අපරාදේ අපි ඉන්න ටික කාලෙට මැසිවිලි කිය කියා කාලේ නාස්ති කරගන්නේ.”
- ලැබෙන ඇගයුම් ඇයට මහ මෙරක්
සරුංගල් සහ කොමඩු ඇටය නමින් කෙටිකතා පොත් දෙකක් ද ලියා පළකොට ඇති ඇය, මුතු කුමාරි සහ රං කොල්ලා නමින් යොවුන් නවකතා දෙකක් ද ලියා පළ කළාය. රං කොල්ලා එනමින්ම සුමිත් රත්නායක විසින් සිනමාවටද නැගීය. කැදැල්ල, කැදැල්ලක නෙත, රාංචි අම්මා, කළුකුම්බරී යන නම්වලින් පලවු පුවත්පත් තීරු ලිපි එකතුවක් ද පොත් ලෙස මුද්‍රණද්වාරයෙන් පිටකළ ශාන්ති මුතු සහ කිංකිණි නමින් ළමා පොත් දෙකක්ද ලියා දරුවන්ට ද ශාන්තියක්ම වූවාය.
උතුරු මැද කලා උලෙළ, රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ, ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ ආදි සම්මාන උළෙල වලදී සිය ලේඛන ප්‍රතිභාව උදෙසා ඇය සම්මාන ඇගයීම් ලැබුවාය. ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් විසින් පිරිනැමූ ස්වර්ණ පද්ම ඇගයීමත්, ගොඩගේ සාහිත්‍ය සම්මානයත් ඇගේ ජීවන ගමනෙහි සොඳුරු මතක සටහන් ලෙස ශේෂව පවතී. අඳුන්ගිර ටෙලි තිරපිටපත උදෙසා සිග්නීස් සම්මානයෙන් ශාන්ති පිදුම් ලබනුයේ ඇගේ ගමනෙහි නව මානයක් පාදමිනි. සාරණ්‍යයා, සඳකිඳුරු කතාව සහ නදී යන නවකතා ඉතා නුදුරේදීම එළිදැක්වීම ඇගේ අපේක්ෂාව වී ඇත. තවත් අලුත් කතාවක් ලිවීමට ඇය මුලපුරා තිබේ.
- සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග
Leave a comment