අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි
අර්ශස් හෙවත් Piles (Haemorrhoids) යනු බොහෝ දෙනෙකුට මුහුණදීමට සිදුවන නමුත් ලැජ්ජාව නිසා කතා නොකරන සෞඛ්‍ය ගැටලුවකි. විශේෂඥයන් පවසන්නේ, සරල ජීවන රටාවේ වෙනස්කම් කිහිපයක් මඟින් මෙම තත්ත්වය බොහෝ දුරට වළක්වා ගත හැකි බවයි.
අර්ශස් ඇතිවෙන්නේ ඇයි?
අර්ශස් යනු ගුද මාර්ගයේ පහළ කොටසේ හෝ ගුද ද්වාරය අවට ඇති රුධිර නාල ඉදිමීම සහ දැවිල්ලට පත්වීමයි. මෙම තත්ත්වය නිසා, කැසීම, වේදනාව, මළපහ කිරීමේදී රුධිරය පිටවීම, ගුද ප්‍රදේශයේ අපහසුතාව, වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. Medical Express Clinicහි සායනික ප්‍රධානී වෛද්‍ය මොහොමඩ් බක්තියාර් පවසන්නේ, අද කාලයේ ජීවන රටාවම අර්ශස් ඇතිවීමට හේතු වන බවයි. "අඩු තන්තු සහිත ආහාර, දිගු වේලාවක් වාඩි වී සිටීම සහ වැසිකිළියේදී අධික ලෙස තෙරපීම අර්ශස් ඇතිවීමට ප්‍රධාන හේතු වනවා," යැයි ඔහු පවසයි.
ජංගම දුරකථනයත් වරදකාරයෙක්
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ අද බොහෝ දෙනා වැසිකිළියට ගොස් විනාඩි 10ත් 15ත් අතර කාලයක් ජංගම දුරකථනය භාවිත කරන බවයි. එම දිගු කාලීන වාඩිවීම ගුද ප්‍රදේශයේ රුධිර නාලවල පීඩනය වැඩි කරන අතර, එය අර්ශස් ඇතිවීමේ අවදානම ඉහළ නංවයි.
අර්ශස් වළක්වා ගැනීමට කළ යුතු දේ
තන්තු (Fibre) වැඩිපුර ගන්න - අර්ශස් වළක්වා ගැනීමේ වැදගත්ම පියවර වන්නේ තන්තු බහුල ආහාර ගැනීමයි. තන්තු මඟින් මළපහ මෘදු වන නිසා වැසිකිළියේදී අධික ලෙස තෙරපීමට අවශ්‍ය නොවේ. සම්පූර්ණ ධාන්‍ය, එළවළු, පලතුරු, පරිප්පු, බෝංචි සහ ඕට්ස් වැනි ආහාර දිනපතා ආහාරයට එක්කර ගැනීම සුදුසුය.
ප්‍රමාණවත් ජලය පානය කරන්න,
තන්තු වැඩිපුර ගත්තත් ජලය ප්‍රමාණවත් ලෙස පානය නොකළහොත් මළබද්ධය තවත් වැඩි විය හැකිය. ඒ නිසා තන්තු සහ ජලය එකටම අවශ්‍ය බව වෛද්‍යවරයා අවධාරණය කරයි.
දිනපතා ව්‍යායාම කරන්න,
දිනපතා ඇවිදීම වැනි සරල ව්‍යායාම පවා බඩවැල් ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වේ. කෙසේ වෙතත්, ඉතා බර වස්තු එසවීමේදී හුස්ම රඳවාගෙන තෙරපීමෙන් වැළකිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.
අර්ශස් තිබේ නම් නොකළ යුතු වැරදි,
බොහෝ දෙනා අර්ශස් ඇති වූ විට ලැජ්ජාව නිසා වෛද්‍යවරයෙකු හමුවීමට ප්‍රමාද වෙති. තවත් පිරිසක් ෆාමසිවලින් ලබාගන්නා ක්‍රීම් වර්ග පමණක් භාවිත කර ගැටලුවේ මූලික හේතුව වන මළබද්ධය නොසලකා හරිති. වෛද්‍ය බක්තියාර් පවසන්නේ, ස්ටෙරොයිඩ් අඩංගු සමහර ක්‍රීම් දිගු කාලයක් භාවිත කිරීමෙන් සම තුනී විය හැකි බැවින් ඒවා දිගුකාලීන ප්‍රතිකාරයක් නොවන බවයි.
රුධිරය පිටවීම සැහැල්ලුවෙන් ගන්න එපා,
අර්ශස් නිසා රුධිරය පිටවිය හැකි නමුත්, සෑම රුධිර වහනයක්ම අර්ශස් නිසාම සිදුවන බව සිතා නොසිටිය යුතු බව වෛද්‍යවරයා අවධාරණය කරයි. සමහර විට එය මහාන්ත්‍ර පිළිකාව (Colorectal Cancer) වැනි බරපතළ රෝගයක මුල් ලක්ෂණයක් විය හැකිය.
පහත ලක්ෂණ තිබේ නම් ප්‍රමාද නොවී වෛද්‍ය උපදෙස් ලබාගන්න.
- සති කිහිපයක් පුරා මළපහ කිරීමේ රටාව වෙනස් වීම.
- මළපහ සමඟම රුධිරය මිශ්‍රව පැමිණීම.
- කළු හෝ තාර වැනි පැහැති මළපහ.
- හේතුවක් නොමැතිව බර අඩුවීම.
- දිගුකාලීන වෙහෙස හෝ රක්තහීනතාවයේ ලක්ෂණ.
- වයස අවුරුදු 40ට වැඩි අයෙකුට අලුතින් මෙම ලක්ෂණ ඇතිවීම.
- පවුලේ අයෙකුට මහාන්ත්‍ර පිළිකා ඉතිහාසයක් තිබීම.
අර්ශස් බොහෝ අවස්ථාවලදී බරපතළ රෝගයක් නොවුණත්, ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම කිසිවිටෙකත් නොසලකා හැරිය යුතු ලක්ෂණයක් නොවේ. සමබර ආහාර වේලක්, තන්තු බහුල ආහාර, ප්‍රමාණවත් ජලය, නිතිපතා ව්‍යායාම සහ වැසිකිළියේ දිගු වේලාවක් ජංගම දුරකථනය භාවිත කිරීමෙන් වැළකීම මඟින් අර්ශස් ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.
අශන්ති වරුණසූරිය

Leave a comment