ජීවිතයට වාසනාව ගෙනෙන නැකැත් සීට්ටුව

සිංහලයේ මහා සංස්කෘතික මංගල්‍යය අලුත් අවුරුදු උදාවයි. සතුට ප්‍රීතිය සහ රස ආහාරවලින් පිරුණු අලුත් අවුරුද්දයි. අලුත් අවුරුද්දේ සුවිශේෂතා රැසක් තිබෙන අතර එයින් ප්‍රධාන තැනක් ගන්නේ නැකැත් ක්‍රමයයි. අලුත් අවුරුදු උදාවීම, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, හිස තෙල් ගෑම, රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම මේ නැකැත් අතර වේ. මේ සෑම දෙයක්ම සිදුවන්නේ නිශ්චිත නැකතකටය.  අලුත් අවුරුදු චාරිත්‍ර නැකතට සිදුවන්නේ ඇයි?  නැකැත්වල තිබෙන සුවිශේෂත්වය මොකක්ද? නැකැත් පිළිපැදීමෙන් ලැබෙන සුබඵල මොනවාද? මේ සටහන ඒ පිළිබඳව ය.

නැකැත් ඉටු කිරීමෙන් ලැබෙන දේවල් 

නැකැත් චාරිත්‍ර ඉටු කිරීමට පවුලේ සියලු දෙනාම එකට එකතු වෙනවා. සෑම දෙනාගේම අරමුණ වගේම ප්‍රාර්ථනාත් එකයි. සුබ නැකතක් යනු සිතන පතන දේ සිදුවෙන මොහොතක්. සියලුදෙනාටම ඇත්තේ  අවුරුද්ද පුරාම දුක් කරදරවලින් තොරව සතුටින් සාමයෙන් යුතුව අග හිඟයකින් තොරව ගතකරන්න ලැබෙන්නැයි  ප්‍රාර්ථනාව යි. 

සිත සන්සුන් කරන නොනගතය 

නොනගතයේදී කිසිම නැකතක් නැති නිසා කිසිම  වැඩ රාජකාරියක යෙදෙන්නේ නැහැ. මෙන්න මේ දෙකටම නැති කාලේ යම්  වැඩපළක නිරතවීමෙන් කරදරයක් විපතක් සිදුවීමේ අවස්ථාව වැඩියි. මේ කාලයට පුණ්‍ය කාලය කියා නම් කර ඇත්තේ ඒ නිසයි. දැහැමි සිත් ඇතිව පන්සල් යාම, පින්දහම් කිරීම මේ කාලයට උචිතම ක්‍රියා යි. පුණ්‍ය කටයුතු හේතුවෙන් ඇතිවෙන සමාධි සිත නිසා ඉතාම භක්තියෙන් යුතුව ඉතිරි නැකැත් චාරිත්‍ර කිරීමට විශාල පහසුවක් ලැබෙනවා.
නොනගතයෙන් පස්සේ එළැඹෙන්නේ ආහාර පිසීම සඳහා ලිප ගිනි මෙළවීමයි. ගිනි මෙළවිය යුත්තේ නැවුම් ලිපකයි. වර්තමානය වන විට නාගරිකව පමණක් නොව සමහර ගම්බද නිවාසවල පවා දර ලිප් භාවිතා කරන්නේ නැහැ. නිවාස සංකීර්ණවල වෙසෙන අයට දර ලිප් භාවිත කිරීමට අවස්ථාවක් සැලසෙන්නත් නැහැ.  එම නිසා ගොම මැටි ගාන්න බැරිවුණාට මුළුතැන්ගෙය සෝදා පිරිසුදු කර බිත්ති ජරාජීර්ණ වී ඇත්නම් අලුතින් වර්ණ ආලේප කර පිරිසුදු කරගන්න. පරණ අවුරුද්දේ වැඩ අත්හරින්නට පෙර ගෑස් ලිපේ බඳුන් තබන තට්ටු සෝදා පිරිසුදු කර ලිප සහ එය තබන ස්ථානද හොඳින් පිරිසුදු කර තබාගන්න. 

නැකතට කිරි උතුරුවන්න 

ලිප ගිනි මෙළවීමේ චාරිත්‍රය පටලවා ගත් අයද සිටිනවා. නැකතට ලිප ගිනි මෙළවීම කියන්නෙ ගෙදර සාලයේ කිරි ඉතිරිවීමටයි. එතැනදි ගල් තුනක් තබා නැවුම් මුට්ටියකට කිරි ඉතිරවීම මහල් නිවාසවල ජීවත්වන අයටත් කරන්න පුළුවන්. 
කිරි ඉතුරුවාට පස්සේ තමයි මුල්තැන්ගෙයි කිරිබත් උයන්න සූදානම් වෙන්න ඕනෑ. මේ නැකත හරියටම සිදු කිරීමෙන් වසර පුරාම අග හිඟයකින් තොරව සෞභාග්‍යමත් විදියට ජීවත්වීමට අවස්ථාව සැලසෙනවා.

වැඩ අල්ලනවද?  ආහාර අනුභව කරනවාද? 

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමෙන් පසුව ලැබෙන  පළමු නැකත මෙයයි.  ගෘහිණිය විසින් සූර්යයා සහ ගින්දර මුල්කරගෙන සිදු කරන මේ ක්‍රියාවලිය නිසා තමයි  මුළු වර්ෂය පුරාම සශ්‍රීකත්වයෙන් අපිට ජීවත්වීමට අවස්ථාව ලැබෙන්නෙ.
ඒ වගේම තවත් හුඟක්දෙනා පටලවාගන්නා තැනක් තමයි ආහාර අනුභවය. එතැනදීත් වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවය මැනවි කිව්වට සමහර අය එම චාරිත්‍රය අග ඉඳලා මුලට සිදුකරනවා. මෙයත් අතීත සිදුවීම් මත බැඳුනක්. ගොවි ජනතාව ඒ ආකාරයෙන් සිදුකළාට ප්‍රශ්නයක් නැහැ. ඒ මන්දයත් ඔවුන්ගේ ජීවනෝපාය එය වන නිසා. අනෙක් වෘත්තිකයෝ තම තමන්ගේ වෘත්තියට අයත් දෙයක් කළ හැකියි. උදාහරණයක් ලෙස ලේඛකයෙක් නම් ලිවීමද ඡායාරූප ශිල්පියෙක් නම් ඡායාරූපයක්ද ගන්න පුළුවන්.  ඒ වගේම ඉගෙන ගන්නා දරුවන් තමන්ගේ පාඩම් වැඩක නිරතවීම හොඳ ක්‍රියාවක්.
එකම නැකතක එකම වෙලාවක ආහාරය අනුභවය සිදු වෙන එකම රට ලංකාව පමණයි. මෙහි ඇති වැදගත්කම නම් අවුරුද්ද පුරාවටම ක්‍රියාත්මක වෙන ජීර්ණ පද්ධතිය උපවාස කාලයක් ලෙස විවේකී අවස්ථාවකට ලක්වෙනවා. එම විවේකී අවස්ථාවෙන් පසුව අලුත් වෙන වෙලාවට ආහාර අනුභවය සිදුවෙනවා. මෙයින් සිදුවන්නේ වසර පුරාම නිරෝගිමත්බව රැකගෙන ආහාර හිඟයකින් තොරව  සශ්‍රීකත්වයෙන් පූර්ණව ජීවත්වීමට අවස්ථාව ලැබීමයි. වසර පුරාම සෑම නිවසකම බතක්  ඉදෙනවා නම් ඒ නිවස තුළ ආදරය සෙනෙහස ද නොඅඩුව පවතිනවා. 
ගනුදෙනු කිරීමේ නැකතේදී පියා සමග පවුලේ අය ගනුදෙනු කළ යුතුයි.  බුලත් අතක යම් මුදලක් තැබීම මෙහිදී සිදු කෙරෙනවා. මෙහිදී සැමියා තමන්ට  හැකි උපරිමයෙන්  යම්කිසි මුදල් ප්‍රමාණයක් බුලත් කොළයේ තබා බිරිඳට දෙනවා. ඇය කළ යුත්තේ එය පසුව වියදම් කිරීම නොෙවයි ඉතිරි කිරීමයි. ඒ වසර පුරාම හැකි විදියට එම ඉතිරිය වර්ධනය කළ යුතුයි.  ඒ විදියට පියා විසින් දරුවන්ටද යම් මුදලක් ලබාදෙනවා. 
කෑම මේසය මත පහනක් දල්වලා කිරිබත් කැවුම් අනා පිඬ බැගින් බිරිඳට දරුවන්ට කැවිය යුතුයි. ඒ අතරතුර මේ සතුට සමාදානය හැමදාම පවතීවා කියන අධිෂ්ඨානය හැමෝගෙම සිත්වල ධාරණය කරගත යුතුයි. 

 වසර පුරා නිරෝගීබව පතන්න 

මෙහි ඇති වැදගත්කම නම් නියම නැකතට නියම පිළිවෙළකට හිස තෙල් ගෑම තුළින් වසර පුරාම නිරෝගිභාවය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා. හිස තෙල් ගෑමෙන් අපේක්ෂා කරන්නේ මේ කාර්යය යි.

රැකියාවට යන්නත් නැකතක් 

 වර්තමානයේ මේ රැකීරක්ෂා සඳහා පිටත්යාමේ නැකත නිසියාකාරව සිදුවන්නේ නැහැ. එයට හේතුව නම් සමහර රැකියා ස්ථානවලට එම නැකතට පෙර යාමට සිදුවන නිසයි. එහෙත් එම නැකත ද අනුගමනය කිරීම අපගේ ජීවිතවලට හුඟක් වටිනවා.

 අවුරුද්දට පාටක් දෙන්නේ ඇයි? 

වර් ණ භාවිත කිරීමේදී දවසේ ග්‍රහයාට අනුව වර්ණය තෝරාගනු ලබයි. උදාහරණයක් ලෙස සෙනසුරාදා දවස සෙනසුරු ග්‍රහයාට අයිති දවසක්. එහිදී සෙනසුරු ග්‍රහයාගේ වර්ණය නිල් පාට.  එම නිසා එදිනට එම වර්ණය භාවිතා කිරීමෙන් එම ග්‍රහයාගෙන් ඇතිවන කිරණවල බලපෑම අඩු වෙනවා. ඒ වගේම  එම ග්‍රහයාගේ වර්ණයට ගැළපෙන ලෙස  සම්බන්ධවීමෙන්  එම ග්‍රහයාගෙන් බලපාන යම්  යම් කරදර බාධා මගහැරෙනවා යැයි  මතයක් තිබෙනවා.  ඒ දවසේ සිටින ග්‍රහයාට අනුව වර්ණ යොදා ගැනීමෙන්   අපට තිබෙන ග්‍රහ දෝෂ සියයට තිහක් හතළිහක් මගහරවා ගැනීමට හැකිවෙනවා යැයි පැවසෙනවා. 
මේ අනුව අවුරුදු චාරිත්‍ර නැකතට අනුව සිදුකිරීමෙන් අපගේ ජීවිතවලට සතුට සමාදානය සෞභාග්‍යමත්බව සශ්‍රීකත්වය ළඟා කරගත හැකියි. 

නිරූපණය :චානක, පියුමී                                   

ඡායාරූප : රුසිරු කොළඹතන්ත්‍රිගේ

 

ලග්න පලාඵල Read Previous

ලග්න පලාඵල

ලොව ළාබාලතම බිලියනපතිනිය Read Next

ලොව ළාබාලතම බිලියනපතිනිය

Realted Post

Leave a comment