හිත සුන්දර නම් හැමදාමත් වැලන්ටයින්

‘ස්ත්‍රියකගේ ජීවිතයේ ඉතිහාසය ආදරය යි. එහෙත් පුරුෂයෙකුගේ ජීවිතයේ නම් එක් කතාංගයක් පමණයි.”

මෙහෙම කියන්නේ ”ස්ටීල්” නම් චින්තකා යි. ඇත්තෙන්ම ආදරයේ සැබෑ ජීවගුණය හඳුනන්නේ ගැහැනියයි. ඇගේ කුස තුළ වැඩෙන බිලිඳු කලලයේ සිට දරුවෙකු ලොවට බිහි කරන තුරුම රකින්නේ ඇයමයි. එයින් ඇය අම්මා ලෙස මුළු ලෝකයේ පැවැත්ම සහතික කරවනන්නීය. ඉතින් ආදරයේ උල්පත අම්මා මිස අන් කවුරුද? දාරක ස්නේහයේ හුස්ම මෙලොව තුළ පතිත කරවන්නේ අම්මා ය. පුතෙකු සිය ජීවිතයේ මුල්වරට සිනහවක් දකින්නේ අම්මාගෙනි. කරදඬු උස්මහත් වී අම්මාගේම සිනහව වැනි සිනහවක් පුතු දෙවැනි වරට දකින්නේ සිය බිරිඳගෙන්ය. ඇය තමන්ගේම ලෙයින් දරු සෙනෙහස ගැබ්බරව දරා සිටින්නේ බිරිඳ ලෙසිනි. ආදරවන්ත ස්වාමියා සිය ගැබ්බර බිරිඳ හඳුනාගන්නේ මාතු භාර්යාවක විලසිනි.
ගැහැනියක සහ පිරිමියෙකු අතර ප්‍රේමණීය සබඳතාව එකිනෙකාට ගැටගැසී ඇත්තේ  ‘ආදරය’ නම් වූ උත්තරීත බලසම්පන්න හැඟීමෙනි.
‘ආදරය’ මහ පොළොව මත පතිත වූ ශ්‍රේෂ්ඨතම හැඟීමයි.
ආදරය පවතින්නේ මිනිස් වර්ගයා තුළ පමණක් නොවේ. අපා දෙපා සිවුපා අදී සියලුම සතුන් අතරද පවතින්නේය. ඕනෑම සතෙක් තම පැටවුන්ට ආදරෙයි. ඒ විතරක්ද..... හීලෑ කර ගතහොත් වන සතුන් පවා මිනිසුන්ට ආදරය කරති. උරග පියාසර දෙපා සිවුපා ආදී සියලුම සතුන්ට ජීව ජනනය උදෙසා ආදරය කලලය පිළිසිඳුවා ගැනීමට රාගයේ ආශාවේ හැඟීම උත්තේජනයක් වෙනවා වගේම ආදරෙන්ද රාගය ආශාව ජනිත වෙන්නට පුළුවනි. එයයි සොබාදාමේ ආකෘතිය.
ආදරය සිතට දැනෙන හැඟීමකි. එය ආදරණීය හැඟීමට උත්තේජකයක් සපයන්නා ආදරණීය දසුනක්ම නොවේද?
අම්මයි තාත්තයි දරුවන්ට ආදරෙයි. දරුවන් අම්මටයි තාත්තටයි ආදරෙයි. අයියා නංගිට ආදරෙයි. නංගි අයියට ආදරෙයි. මේ වගේ ඥාතීන් හිතමිතුරන්ට ආදරය දක්වන්න පුළුවනි. එහෙත් ප්‍රේමවන්තයන් දෙදෙනෙකු එකිනෙකාට ආදරේ කරන්නේ වෙනස්ම ආකාරයකට ය. එතැනදී ආදරේ කියන වචනයට ‘ප්‍රේමය’ හෝ ”ආලය” යන වචනද ආදේශවීමට පුළුවන.

ලෝකයේ ආදරණීයයන් වැඩිපුරම භාවිතා කරන වචන තුන වන්නේ ”මම ඔයාට ආදරෙයි” . ලෝකයේ දේශ දේශාන්තරවල විවිධ භාෂාවලින් කෝටි ප්‍රකෝටි මිනිසුන් අතර මේ වචන තුන හුවමාරු වෙනවා ඇත්ද? සතුන්ට කතා කරන්න බැරිවුණොත් ඒ වචන තුනේ හැඟීම විවිධාකාර ඉරියව්වලින් ප්‍රකාශ කර ගන්නවා. ඒ වගේම ලෝකයේ නොයෙකුත් භාෂාවලින් ආදරය පිළිබඳව ගීත කෙතරම් ප්‍රමාණයක් රචනා වී ඇත්ද? 
සමස්තයක් ලෙස ගත් කල සියලුම ප්‍රාණීන් ආදරවන්තයෝ ය. ඒ සෑම කෙනෙක්ම ආදරය විඳිති. ආදරයේ ආනන්දය විඳිති. වනාන්තරවල, නිවෙස්වල ජීවත්වන සතා සිවුපාවාද ආදරය විඳිති. 

නෑම දරදඬු මිනිසෙකුගේ සිත වෙඬරු පිඩක් සේ දියකර හරින්නට ආදරයට පුළුවන. ”ආදරය” යනු මෙවැනි දෙයක් යැයි කියා මවාපෑමට හැකියාවක් නැත.. ආදරය යනු හිතට දැනෙන හැඟීමක් දැනීමක් කිවහොත් නිවැරදි ය.
ලොව ප්‍රසිද්ධ පුරාවෘත්තවලට පාදක වූ ආදර කතන්දරවල ප්‍රධාන චරිත වූයේ ආදරවන්තයින්ම ය. එවැනි ප්‍රකට ආදරවන්තයින් ලෝක ඉතිහාසය තුළ සදා ජීවමාන චරි බවට පත්විය.
රෝමියෝ ජූලියට්, සජහන් මුම්ටාස්, වීර් සාරා වගේම ලංකාවේ සාලිය අශෝකමාලා වගේ නිමක් දැකිය නොහැකි ආදරවන්තයින්ගේ ලැයිස්තුවක් තිබේ. ඒ අතරේ නමක් ගමක් රටක් නොදන්නා ආදරවන්තයින් කොපමණ මේ ලෝකය තුළ සිටියාද? දැනටත් සිටිනවාද? ලෝක යුද්ධ ස්වභාවික ආපදාව වැනි දේවලින් සෑම දෙයක්ම විනාශ වුවත් ” ආදරය” කියන ඒ සෙනෙහෙවන්ත හැඟීම විනාශ කිරීමට කිසිම බලවතෙකුට නොහැකිය. එම නිසා ලොව පවතින තාක්කල් ”ආදරය” යන අකුරු හතර වියැකෙන්නේ නැහැ.
පෙබරවාරි 14 වෙනිදා ලෝකයේම සිටින තරුණ වැඩිහිටි ආදරවන්තයින් සමරන ”වැලන්ටයින් දිනයයි”. මෙදින උත්සවාකාරයෙන් සැමරීමට ආදරවන්තයින් සැදී පැහැදී සිටිති. බොහෝ දෙනෙකුට මෙදින අර්ථ විරහිත වූ ආලය තේමා කරගත් හුදු දිනයක්ම පමණි. බොහෝ දෙනෙකු මේ අර්ථය පවා නොදනිති. ඇතැමුන්ට තම අශීලාචාරවත් සිතැඟි ඉටුකර ගැනීමේ දවසකි. ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර ”වැලන්ටයින් දිනය” පැවැත්වීමේ රැල්ල පැතිර ගියේ 1998 න් පසුවය. එය අද වනවිට සම්පූර්ණයෙන්  වාණිජකරණය වූ දිනයකි.
පෙම්වතුන්ගේ නිදහස වෙනුවෙන් කැපවුණු ක්‍රිස්තියානි පූජකවරයෙකු වන ශාන්ත වැලන්ටයින් පූජකවරයා සිහිපත් කිරීම උදෙසා මෙම වැලන්ටයින් දිනය සමරනු ලැබේ. ඔහු පෙම්වතුන් වෙනුවෙන් කරන ලද සේවය උදෙසා පෙබරවාරි 14 වැනි දින වැලන්ටයින් දිනය ලෙස නම් කොට තිබේ.
නූතනයේ බොහෝ රටවල වැලන්ටයින් දිනය සමරන්නේ හුදු වාණිජමය හෝ අශිෂ්ට සම්පන්න වූ දේ ඉටු කර ගැනීමේ දිනයක් වශයෙනි. තරු පහේ හෝටල්වලදී  ධනවතුන්ට අණග රැඟුම් නැටීමට හා දැක බලා ගැනීමට මෙයින් අවස්ථාව සැලසේ. මෙදිනට සමහර තරුණ තරණයක් ඔවුන්ගේ ආදරය සමරන්නේ තමන්ගේ ලිංගික තෘප්තිය උදෙසාය. සමහර ඊනියා ආගමික නායකයින්ට ආදරවන්තයින්ට උපදෙස් දෙන්න මතක් වෙන්නේ වැලන්ටයින් දිනයට පමණි. ඔවුන් විසින් සිදු කරන්නේද වැලන්ටයින් දින සැමරුමකි.
වැඩිහිටියන්ගේ වගකීම දරුවකු සමාජ පරිහානියට ලක් නොවන පරිසරයක් ගොඩනැගීමයි. වැලන්ටයින් දිනයේ මෙවැනි අශෝභන හා ශීලාචාර හැඟීම් සපුරා ගැනීමට හෝ හුදු වාණිජමය අරමුණු ඉටුකර ගැනීමට යොදා ගැනීම මෙදින උත්තරීත්වය කෙලෙසන සාපරාධී ක්‍රියාවකි. රෝමේ සාන්ත වැලන්ටන් පූජකතුමා දිවි පිදුවේ අමිල නිර්මල ප්‍රේමය හා බැඳුණු පවුල් සංස්ථාව සුරක්ෂිත කිරීමට හා ගොඩනැංවීමට ක්‍රීයා කිරීමට යාම හේතුවෙනි. එබැවින් වැලන්ටයින් දිනය වඩාත් අර්ථවත් හා සදාචාරාත්ම හැඟීමකින් සැමරීම ඉතා අගනේය.
මේ නිසාවෙන් ආදරවන්තයන්ගේ දිනයේදී තම පෙම්වතාට හෝ පෙම්වතියට ආදරය කිරීමට සුබ පැතුම් පිරිනැමීම වරදක් නොවේ. ආදරවන්තයින්ගේ දිනයේදී අහිංසක අසරණයන්ට සැලකීමට තම ආදරය සෙනෙහස දැක්වීමට යමක් සිදු කරන්නේ නම් එය සැබවින්ම ආදරවන්තයන්ගේ සැමරීමට අර්ථයක්  දෙනු ඇත. සැබවින්ම අපි අපට සමාජයට රටට ලෝකයට පරිසරයට ආදරය කරන්නේ නම් “සල්ලි ඇත්නම් සැමදාමත් අවුරුදු” කියන කතාව වසර පුරාම මේ ආකාරයේ වැදගත් අර්ථවත් දේ සිදුකරන්නේ නම් “හැමදාමත් ආදරවන්තයින්ගේ දිනයක්” වනු ඇත.
මනසින් වැලඳගන්න. නුවණින් දකින්න. අවංකව ආදරය කරන්න.

ඉෂංකා ජයසූරිය

MY STYLE with   ටනාෂා Read Previous

MY STYLE with ටනාෂා

තන්තිරිමලයට යන පාරේ  මල් විකුණන ළියන්ගේ  ආයාචනය ... Read Next

තන්තිරිමලයට යන පාරේ මල් විකුණන ළියන්ගේ ආයාචනය ...

Realted Post

Leave a comment