රූපලාවන්‍ය නිෂ්පාදන තෝරගද්දි පරිස්සමෙන්

කාන්තාවකගේ ජීවිතයේ  ප්‍රධාන අංගයක් වන්නේ රූපලාවණ්‍යයි. නීරෝගී පැහැපත් සමක් ලබා ගැනීම සෑම යුවතියකගේ මෙන්ම කාන්තාවකගේද අභිලාෂයක්. එකී අභිලාෂය ඉටු කර ගැනීමට බොහෝ දෙනා ඇතැම් අවස්ථා වලදී  තම රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරාගන්නේ නිසි අනුදැනුමකින් තොරවයි. ඇතැම් විට විවිධ නිෂ්පාදන රැල්ලට භාවිතා කිරීමට යොමු වීම තුළින් අයහපත් ප්‍රතිඵල ගෙන දුන් අවස්ථාද අපි කොතෙකුත් දැක තිබෙනවා. සමෙහි නිරෝගී බව පවත්වා ගෙන යාම සඳහා තමාට සුදුසු නිෂ්පාදන තෝරා ගෙන පරිහරණය කිරීමට නම් ඒවා තෝරාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව නිසි අවබෝධයක් පැවතිය යුතුමයි. මේ සටහන ඒ පිළිබඳවයි.

සමේ ස්වභාවය

සම නීරෝගීව, පැහැපත්ව තබා ගැනීමට උනන්දු වන ඔබ, වෙළෙඳ නිෂ්පාදන තෝරා ගැනීමට පෙර සමෙහි ස්වභාවය හඳුනා ගෙන සිටීම ඉතාමත් වැදගත්. රූපලාවණ්‍ය නිෂ්පාදන බොහෝ විට සකස් කර ඇත්තේ එක් එක් සමට ආවේණික ආකාරයටයි. 
එම නිසා ඔබට ඇත්තේ තෙල් සහිත සමක්ද, වියළි සමක්ද, නැතිනම් සාමාන්‍ය සමක්ද යන්න හඳුනාගත යුතුමයි. මුහුණේ  පවතින්නේ තෙල් සහිත සමක්  නම් මුහුණේ තෙල් පාලනය කරන ක්‍රීම් වර්ගයක් යොදා ගැනීම වඩාත් සුදුසුයි. එම ක්‍රීම් වර්ගයම අත් සහ පාද වල ආලේප කිරීමෙන් වැළකිය යුතුයි. අත්වල ආලේප කිරීමට ඒ සඳහාම විශේෂ වූ හෑන්ඩ් ක්‍රීම් එකක් භාවිතා කිරීම ඉතාම වැදගත්. එමෙන්ම දෙපා සඳහා ඒ වෙනුවෙන්ම නිෂ්පාදනය කර ඇති ක්‍රීම් වර්ගයක් යොදා ගැනීම සුදුසුයි.  

ඔබට තිබෙන්නේ වියළි සමක් නම් මිල්ක් ඔයිල් අඩංගු මොයිස්ච‍රයිසර් වැඩියෙන් පවතින ක්‍රීම් වර්ගයක් තෝරාගත යුතුයි. එමෙන්ම ක්ලෙන්සර් තෝරා ගැනීමේදීද පවතින සමට උචිතද යන්න සොයා බැලීම ඉතා වැදගත් වේ. කුරුලෑ සහිත සමක් ඔබට ඇත්නම් ආසාදිත තත්ත්වයන්ගෙන් ඉවත් වූ පසු ආලේපන භාවිත කිරීම වඩාත් සුදුසුයි. ඔබ තෝරාගත් නිෂ්පාදනය භාවිත කර දින හතළිස් පහක් පමණ ගත වන විට පැවති  සමෙහි යම් කිසි යහපත් වෙනසක් සිදු වී ඇත්නම් එය ඔබට සුදුසු නිෂ්පාදනයක් ලෙස තහවුරු කර ගත හැකියි. 

තවත් වැදගත් කරුණක් වන්නේ විවිධ ආලේපන එලෙස භාවිත කිරීම තුළින්, වියළි හෝ තෙල් සහිත සමක්, සාමාන්‍ය සමක් බවට පත් වූ විට එතැන් සිට සාමාන්‍ය සමක් සඳහා සුදුසු ආලේපන භාවිත කිරීමට යොමු විය යුතු වේ. 

නිෂ්පාදන සඳහා යොදා ගෙන ඇති අමුද්‍රව්‍ය

රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා යොදාගෙන ඇති අමුද්‍රව්‍ය පිළිබඳව සැළකිලිමත් වීමද අත්‍යාවශ්‍ය කරුණකි. එහිදී රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන තුළ අඩංගු වේ නම් ඔබේ සමට එමඟින් හානියක් සිදු විය හැකියි. බොහෝ තරුණ යුවතියන් මෙන්ම කාන්තාවන් ද, වර්තමානය වන විට  සම සුදු පැහැ කර ගැනීමට, සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග භාවිත කිරීමට පෙළඹී තිබේ. ආලේපනයක් තෝරා ගැනීමේදී, ඔබ හොඳින් දන්නා හඳුනන අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන තෝරා ගැනීම වඩාත් යහපත් වේ. එහිදී, කෝමාරිකා, අලිපේර, ගස්ලබු වැනි සමට හිතකර දෑ යොදා නිෂ්පාදනය කරන ආලේපන වර්ග ඔබට භාවිත කළ හැකියි. 

සන්නාම කීර්තිය
ගුණාත්මක භාවයෙන් ඉහළ ඇතැම් රූපලාවණ්‍ය නිෂ්පාදනවල බාහිර පෙනුමටම සමාන ව්‍යාජ නිෂ්පාදන වෙළෙඳපොළ තුළ ඕනෑ තරම් පවතී. එම නිසා වෙළෙඳ සන්නාම වල කීර්තිය සහ ඒවා භාවිත කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල පිළිබඳව සැළකිලිමත් වෙමින් නිෂ්පාදන තෝරා ගැනීමට ඔබට සිදු වේ. 

නිෂ්පාදන ඇසුරුම්කරණය සහ සායනික පරීක්ෂණ 

නිෂ්පාදන ඇසුරුම්කරණය සෞඛ්‍යාරක්ෂිතව කර තිබේ නම් පමණක් එම නිෂ්පාදන මිලට ගැනීමට යොමු වීම වඩාත් සුදුසු වේ. ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් නිසා නිෂ්පාදන ඇසුරුම්කරණය පිළිබඳව වඩා වැඩි උනන්දුවක් දැක්වීම අත්‍යාවශ්‍ය වේ. නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කර නොමැති නම් විවිධ දිලීර වර්ග ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී. එමඟින් සම මත විවිධ ආසාත්මිකතා ඇති විය හැකිය. එම නිසා සමට හිතකර ගුණාත්මක භාවයෙන් ඉහළ සායනික පරීක්ෂණ මඟින් තහවුරු කර සහතික කොට ඇති සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන තෝරා ගැනීම වඩාත් සුදුසු වේ.

සටහන : විශ්වනී හසලා
උපදෙස් : ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී සමන්ත ගුණසේකර

යුද්ධ හමුදාධිපති රනක්ෂිතයට පත් රණවිරුවන් බැහැදකියි Read Previous

යුද්ධ හමුදාධිපති රනක්ෂිතයට පත් රණවිරුවන් බැහැදකියි

බදුල්ල සිසුන්ගේ ආරක්ෂාවට සැලසුම් දියත් වෙයි Read Next

බදුල්ල සිසුන්ගේ ආරක්ෂාවට සැලසුම් දියත් වෙයි

Realted Post

Leave a comment