ඇසේ ලෙඩ පෙන්වන රතු පාට කඳුළු

පුද්ගලයෙකුට දුකක්, වේදනාවක්, සතුටක් දැනුණු විට දෑසට කඳුළු පිරෙයි. ඒ හදවතට දැනෙන සතුට, දුක වේදනාව මොළයට දැනෙන නිසා ය. මෙය සමහර රෝග ඇතිවිටත් ඇසට දැනෙයි. එනම් කඳුළු පිරෙයි. එහෙත් එම කඳුළුවල අසාමාන්‍ය පෙනුමක් ඇත. මේ සටහන ඒ ගැනය.

කඳුළු රතුපාට වෙන්නෙ ඇයි?

එනම්, දෑසෙන් නැගෙන කඳුළුවල වර්ණයක් නැත. එහෙත් රෝගී තත්ත්වයක් නම් එය යම් වර්ණයක් ගනී. එනම් කඳුළු රතු පැහැයක් ගත හැකිය. මෙසේ රුධිරය මිශ්‍රව පිටවන කඳුළුවලින් කියැවෙන රෝගය සමහරවිට දරුණු නොවීමටද පුළුවන. එහෙත් කඳුළුවල රත් පැහැයක් පෙනේ නම් එය ගණන් නොගෙන සිටිය යුතු තත්ත්වයක් නොවේ. ඒ එය බරපතළ ගැටලුවක මූලාරම්භය වීමටත් ඉඩ තිබෙන නිසා ය.
ඇස්වලින් කඳුළු රතු පැහැයට ගැලීමට හේතු කිහිපයක් තිබිය හැකිය. 
අක්ෂි කුහරය තුළ හෝ මතුපිට අසාමාන්‍ය ලෙස වර්ධනය වූ රුධිර නාළ නිසා
සමහර පිළිකා හෝ ගෙඩි 
ඉදිමුණු පටකවලින් රුධිරය වහනයවීම  (ඇස් පිහාටු, ඇස් පෙති හා ඇස මතුපිට ඇති සියුම් පටකවල යම් ඉදිමුමක් හෝ ආබාධයක් නිසා කඳුළු සමග රුධිරය වහනයවීමට ඉඩ තිබේ.) 
ඇසේ හටගන්නා බැක්ටීරියා හෝ වෛරස ආසාදන (ඇසේ සියුම් පටකවල ඉදිමුමක් සිදු වේ. එවිට කඳුළු සමග රුධිරය ගැලීමට පුළුවන. මෙම තත්ත්වය බොහෝවිට දක්නට ලැබෙන්නේ කුඩා දරුවන්ගේ සහ නව යොවුන් වියේ පසුවන දරුවන්ගෙනි.)

ඇසේ අසාමාන්‍ය පිහිටීමකදී

ඇසට ආලෝක කිරණක් ගමන් කරන්නේ ඇසේ කර්ණිකාවේ ඉතා සියුම් විවරයක් හරහාය. එමගින් ඉතා වැඩි ආලෝක තීව්‍රතාවක් ඇති අවස්ථාවලදී කර්ණිකාව කුඩා වී ඇස තුළට ආලෝක කිරණ වැඩිපුර ඇතුළුවීම වළක්වයි.
එසේම ආලෝකය අඩු අඳුරු සහිත අවස්ථාවලදී කර්ණිකාව විශාල වී වැඩිපුර ආලෝක කිරණ ඇස තුළට ගලා එයි.
සාමාන්‍ය පුද්ගලයකුගේ ඇස තුළට ආලෝකය ගලා එන කර්ණිකා සිදුරු තිබෙන්නේ එකක් පමණි. එහෙත් කලාතුරකින් ඇතැම් පුද්ගලයන්ට එක් සිදුරකට වඩා වැඩි ප්‍රමාණයක් පිහිටන අවස්ථා තිබේ. මෙම තත්ත්වය හඳුන්වන්නේ පොලිකෝරියා  polycoria ලෙස ය. එහෙත් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව නිශ්චිතවම කුමක්දැයි පැහැදිලි නැත. මේ නිසා ග්ලූකෝමා සහ ඇසේ සුද වැනි තත්ත්ව සමග මෙහි යම් සම්බන්ධතාවක් ඇතැයි විශ්වාස කෙරේ. මෙම තත්ත්වයේදී බොහෝදෙනෙකුට ප්‍රතිකාර අවශ්‍ය නැත. එහෙත් සමහර අවස්ථාවලදී ශල්‍යකර්මයක් මගින් පෙනීම අඩු අයගේ පෙනීම යථා තත්ත්වයට පත් කළ යුතු වේ.
විවිධ පැහැයෙන් යුත් කළු ඉංගිරියා ඔබ දැක තිබෙනවාද? ඇසේ ක`ඵ ඉංගිරියාව ලෙස හැඳින්වුවත් එය පාරදෘශ්‍ය අවර්ධන මාධ්‍යයකි. එය පිටතින් කළු පැහැයට දිස්වන්නේ ඊට පිටුපසින් පිහිටි තාරා මණ්ඩලය නම් කොටසේ ඇති වර්ණය නිසාය.
ඇතැම් විට මෙම කොටසේ පැහැය එක එක පුද්ගලයාට අනුව වෙනස් වේ. සමහර අවස්ථාවලදී එකම පුද්ගලයාගේ ඇස් දෙකේ පැහැය දෙයාකාර විය හැකිය. මෙසේ එකම ඇසේ වුවද තාරා මණ්ඩලය විවිධ පැහැයෙන් යුත් වර්ණක දක්නට ලැබේ.
සමහර පුද්ගලයින්ගේ උපතින් මෙවැනි වර්ණක කිහිපයක් එකම තාරා මණ්ඩලයේ අන්තර්ගතව තිබේ. මෙයට බොහෝදුරට ප්‍රතිකාර අවශ්‍ය නොවේ. කලාතුරකින් මෙම තත්ත්වය ආවේණිකව මවුපිය උරුමයෙන් ඇතිවන දුර්ලභ රෝගයක එක ලක්ෂණයක් විය හැකි ය. කෙනෙකුට ඇසේ සිදුවන තුවාල හෝ ආසාදන නිසාත් මෙසේ තාරා මණ්ඩලයේ පැහැයේ වෙනස්කම් සිදුවන අවස්ථා ඇති වේ.

බළල් ඇස් සින්ඩ්‍රෝමය 
(cat eye syndrome) 

මෙම තත්ත්වය ඇසේ කර්ණිකාවේ යම් වෙනසක් සහිතව ඉපදීම ය. එවිට හිඩැසක් සහිතව එම කොටස පිහිටයි. එවිට එහි කුඩා රවුම් හැඩැති කර්ණිකාව වෙනුවට දිගැති හැඩැති කර්ණිකාවක් සහිතව උපදින නිසා ය. බළලුන්ගේ ද ඇස්වල කර්ණිකාව මෙම හැඩයෙන් පිහිටයි. එනිසා මෙය බළල් ඇස් සින්ඩ්‍රෝමය ලෙස හඳුන්වයි.
මෙය කොලබෝමා (coloboma) ලෙස හඳුන්වයි. ඇසේ තාරා මණ්ඩලයේ හටගන්නා මෙවැනි අසාමාන්‍ය තත්ත්ව ශරීරයේ අනෙක් ඉන්ද්‍රියන්ගේ ජානමය වෙනස්කම් නිසා හටගන්නා තත්ත්වයකි. මෙවැනි දෙයක් ඇතිවුවහොත් අක්ෂි වෛද්‍යවරයකුට පෙන්වා උපදෙස් ගැනීම ඉතාම සුදුසුය. මෙහිදී බොහෝවිට ඊට අමතරව වෙනත් වෛද්‍ය විශේෂඥවරුන්ගේ ද උපදෙස් ගැනීමට සිදුවිය හැකිය. 

ඔබට දියවැඩියාව ඇත්නම් 

දියවැඩියාව ඇති පුද්ගලයෙකුට දෘෂ්ටි විතානයේ මැද ලේ ගැලීමක් සිදුවිය හැකිය. දියවැඩියා රෝගීන්ට ඇසේ සිදුවන වෙනස්කම් බොහෝවිට දැනේනේ නැත. මෙය නරක අතට හැරුණොත් එක්වරම ඇසේ පෙනීම නැතී වී යා හැකි ය. 
එමෙන්ම වයස් ගතවෙද්දී ද ඇසේ දාෂ්ටි විතානයේ මැද ලේ  ගැලීම් ඇතිවිය හැකිය. 
දෘෂ්ටි විතානයට යටින් ඇති ලේ නහරවල ලේ ගැලීමක් වැනි තත්ත්වයකදී ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස දැකිය හැක්කේ  යම් වස්තුවක් දෙස බැලීමේදී එහි පෙනුම මදිකම සහ එම වස්තුවේ ඇදබවක් දැනීමය. ලේ ගැලීම වැඩි වූ විට ඇසේ පෙනීම නැති වී යයි. 
දියවැඩියා රෝගියකු වසරකට වරක් ඇස් පරීක්ෂා කර ගැනීමෙන් මෙවැනි රෝගී තත්ත්ව පහසුවෙන් හඳුනාගත හැකිය. එමෙන්ම මෙම රෝගී තත්ත්වය ලේසර් ප්‍රතිකාර මගින් සාර්ථකව සුව කළ හැකිය. ලේ නහර පිපිරීමෙන් ඇතිවන රෝගී තත්ත්වය කලින් හඳුනාගත නොහැකි වුවහොත් ශල්‍යකර්මයක් පවා සිදු කළ යුතු වේ.
එබැවින් ඉහත සඳහන් කුමන හෝ වෙනස්කමක් පෙනේ නම් ස්වාභාවික තත්ත්වයක් නොවනබව මතකයේ තබාගන්න. ඒ සඳහා වෛද්‍ය උපදෙස් ගත යුතුම ය.

උපන් දිනෙයි අලුත් වෙනසයි Read Previous

උපන් දිනෙයි අලුත් වෙනසයි

MY STYLE  with  ශාලිකා Read Next

MY STYLE with ශාලිකා

Realted Post

Leave a comment