වැටෙන හිසකෙස් නවත්තන විදිහ

පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන දේශීය සත්කාරවලින් හිසකෙස් රැකගන්නා අයුරු කතා කරන්නයි මේ සූදානම. 

කෙස් ගස වර්ධනය වන අයුරු

නිරෝගී පුද්ගලයකුගේ හිසෙහි දළ වශයෙන් කෙස්ගස් ලක්ෂයක් පමණ තිබේ. කෙස් ගසක වර්ධනය වීම අවධි තුනකින් සිදුවෙයි.
වර්ධක අවධිය  (Anagen Phase)
නිසල අවධිය  (Resting Phase)
ගැලවීයාමේ අවධිය  (Falling Phase)  යනුවෙනි.
හිසකෙස්වල තන්තුමය ප්‍රෝටීන විශේෂයක් වන ‘කෙරටින්’ අඩංගු වන අතර සෑම කෙස් ගසක්ම රෝපණය වන්නේ හිස් කබලේ ඇති කූපයකින් රුධිරය බහුල ලෙස සැපයෙන පීටිකාවකිනි. 
ඒ සෑම කූපයක්ම අභ්‍යන්තරයේ පිහිටා තිබෙයි. පිටිකාව කෙස්ගසේ සෛල නිපදවමින් කූපයෙන් ඉහළට නැගෙන අතර එය කෙස් ගස ලෙසින් ගනව වැඩෙයි. 
කෙස් ගසක් මසකට සෙන්ටිමීටර් 1 - 2 ක් වර්ධනය වේ. කෙස් ගසක මේ ජීවන චක්‍රය හඳුන්වන්නේ රෝම චක්‍රය යනුවෙනි. නිරෝගී කෙස් කලඹක් ඇති අයකුගේ පවා දිනකට කෙස් ගස් 70 - 100 ස්වාභාවිකව හැලී යයි.

අකලට හිසකෙස් ගැලවීයාම

අකලට හිසකෙස් ගැලවීයාමට ද විවිධ හේතු බලපායි. 
  • පෝෂණ ඌනතා 
  • ඇතැම් නිදන්ගත රෝග
  • දිලීර, බැක්ටීරියා ආසාදන 
  • කෘත්‍රිම රසායනික කේශාලේපන
  • ටෙස්ටෙස්ටරෝන් හෝමෝන බලපෑම
  • ජානමය හේතු 
  • අධික ආතතියක් ඇතිවන අයුරින් යොදන කොණ්ඩා මෝස්තර 
  • කෘත්‍රිමව හිසකෙස් වියළීම 
  • උපත් පාලන පෙති, රුධිර කැටි ගැසීම වළක්වන ඖෂධ, පිළිකා මර්දන ඖෂධ, සමහර රෝග සඳහා ගන්නා ඖෂධ 
  • දේශගුණික විපර්යාස (අධික සීතල/අධික උණුසුම) 
  • වර්තමාන වෙළඳපොළේ ඇති විවිධ ෂැම්පු කන්ඩිෂනර්, තෙල් වර්ග ගැල්වීම 
  • මලබද්ධය, නීරක්තිය, අධික හිසරදය 
  • කෙස්ගසට සිදුකරන බාහිර වෙනස්කම් (රිලැක්සින්, රිබොඩින් වැනි දෑ) 
  • ඔසප් චක්‍රය වෙනස්වීම, ආර්තවහරණය
  • ගර්භිණීභාවය වගේම දරු ප්‍රසූතියේදී රෝම චක්‍රයට බලපෑම නිසා කෙස් විශාල ලෙස ගැලවෙයි. 
  • උඳුගොව්වා කෑම 
  • හිස්හොරි  
  • කළු සහ වාත දෝෂ කෝපයෙන් කුපිත වූ කැසිලි බහුල වූ හිසේ සම ඉරිතැළීම් සහිත වූ දාරන හෙවත් හිස්හොරි තත්ත්වය ආයුර්වේදය තුළ විස්තර කරන අතර මේ තත්ත්වය නිරෝගී කෙස්වලට බාධාවකි. 

අකලට හිසකෙස් පැසීම 

අකලට හිසකෙස් පැසීම වර්තමානයේ බාල, තරුණ, මහලු භේදයකින් තොරව බලපාන තත්ත්වයකි. ක්‍රෝධය, ශෝකය, විඩාව නිසා කුපිත වා, පිත්, සෙම් හිසට ගමන් කර කෙස්ගස පැසීම සිදුවනබව ආයුර්වේදයේ දක්වයි. 

ආහාරවේලට මේවා එකතු කරන්න 

මුකුණුවැන්න, මුරුංගා කොළ, ගොටුකොළ, නිවිති වැනි පලා වර්ග, ඉරමුසු, නෙල්ලි, රසකිඳ වැනි පාන වර්ග ආහාරයට නිතර එක්කර ගැනීම කළ යුතු වේ. වැඩිපුර ජලය පානය කිරීම කෙස් වියළීම වළක්වයි. 
සිරුරේ වර්ධනයට කැරට්, බතල වැනි විටමින බහුල ආහාර 
ධාන්‍ය වර්ග, කුකුළු මස් මුහුදු ආහාර ආදිය 

තෙල් සත්කාර 

හිසකෙස්වලට පොල් තෙල්, තැඹිලි තෙල් යෝග්‍ය වේ. තල තෙල්, පුෂ්පකේෂී, නීලයාදි, භෘංගමාලක, ත්‍රිපලා වැනි ඖෂධීය තෙලක් යොදා හිස සම්බාහනය කිරීමෙන් හිසේ උෂ්ණත්වය අඩු වී හිසෙහි රෝමකූපවලට හොඳින් රුධිර සැපයුම ලැබෙයි. 

හිසකෙස් රකින ආයුර්වේද රහස්

කෝමාරිකා යුෂවලට දෙහි බිංදු කිහිපයක් කලවම් කර හිසේ ආලේප කර සෝදා හරින්න.
කොහොඹ කොළ අඹරා එයට දෙහි බිංදු කිහිපයක් එක්කර හිසේ ආලේප කරන්න.
තෙල් සහිත හිසකෙස් සඳහා ස්වාභාවික ෂැම්පු 
1. සියක්කා, ත්‍රිපලා තම්බා ඒ ජලයෙන් හිස සේදීම.
2. සියක්කා, නෙල්ලි තම්බා ඒ ජලයෙන් හිස සේදීම.

ස්වභාවික කන්ඩිෂනර් 

වියළි හිසකෙස් සඳහා 
1. බිත්තර සුදු මදය, යෝගට් (රස නොකළ) මිශ්‍ර කර ආලේප කරන්න
2. බිත්තර සුදු මදය, මීකිරි, එඬරු තෙල් මිශ්‍ර කර ආලේප කරන්න. 
තෙල් සහිත හිසකෙස් සඳහා 
1. යෝගට්, කඩල පිටි, මීපැණි මිශ්‍ර කර ආලේප කරන්න 
2. යෝගට්, එඬරු තෙල්, මිශ්‍ර කර ආලේප කරන්න.
3. කීකිරිඳිය, තල තෙල්, බෙහෙත් වද මල්, නිල් අවරිය. අරළු, බුලු, නෙල්ලි (ත්‍රිපලා) කොටා යුෂ හිසකෙස්වල ආලේප කරන්න.
සාමාන්‍යයෙන් දවල් දොළහට පෙර ස්නානය සුදුසුබව ආයුර්වේදයෙහි දැක් වේ. හිසකෙස් වියළුණු පසු හොඳින් ඇඟිලි තුඩුවලින් ගැට ඉවත්කර පහළ සිට ඉහළට පීරීමෙන් ද හිස් කබලට හොඳ සම්බාහනයක් ලැබීමෙන් රුධිර සංසරණය යහපත් වේ. 

හිස්හොරි වළකන හැටි 

ගොඩපර ගෙඩි කුඩාවට කපා වේළා කුඩුකර සේපාලිකා කොළද පවනේ වේළා, උළුහාල් කුඩු ද සමව ගෙන පිරිසුදු බෝතලයක අසුරා තබා අවශ්‍ය වෙලාවට නටන උණු වතුර කෝප්පයකට මේ මිශ්‍රණය දමා තම්බා නිවුණු පසු හිසෙහි ආලේප කර විනාඩි 30කට පසු සෝදා හරින්න.  කෙස්වල දීප්තිය සහ පහසුවෙන් හසුරුවා ගැනීමට පොකුරු වදමල් අඹරා හිසකෙස් සෝදන්න. 

කෙස්වල පැහැය රැක ගැනීමට 

1 නෙල්ලි, නෙළුම් රේණු, තල, වැල්මී, මී පැණියෙන් අඹරා ආලේප කරන්න. 
2 කරපිංචා කොළ අඹරා ආලේප කරන්න. 
3 කළු තල අඹරා ආලේප කරන්න. 
4 පේර කොළ අඹරා ආලේප කරන්න. 

අකලට හිසකෙස් වැටීම පාලනයට 

1. අරළු, බුළු, නෙල්ලි කුඩුකර කී කිරිඳිය යුෂවලින් අඹරා සතියට දින දෙකක් ආලේප කර පැය භාගයකට පසු සෝදා හරින්න. 
2. වෙරළු කොළ යුෂ සතියකට දින දෙකක් ආලේප කරන්න.
හිසකෙස් වර්ධනයට විශ්ණු කාන්ති යොදා සැකසූ ඖෂධීය තෙලක් භාවිතය යෝග්‍ය වේ.
අකලට හිසකෙස් පැසීම පාලනයට ත්‍රිපලා තෙල් භාවිතය සුදුසුයි. 
නෙල්ලි තැම්බූ ජලයෙන් සතියකට දෙවරක් හිසකෙස් සේදීම, (මේ සඳහා අමු හෝ වියළි නෙල්ලි භාවිතයට ගත හැකි ය.) 
වෙළෙඳපොළෙන් ගන්නා ෂැම්පු, කන්ඩිෂනර් භාවිතයට පෙර එහි සඳහන් ඇසුරුම හොඳින් බලන්න.  ඔබේ හිසකෙස් වර් ගයට ගැළපෙන ආලේපනයක් නම් පමණක් භාවිත කරන්න. 
 

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර Read Previous

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර

MY STYLE  with  ශාලිකා Read Next

MY STYLE with ශාලිකා

Realted Post

Leave a comment