අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

ජීවිතය නම් වීදීයේ ඇවිද යන අපට දිනපතා බොහෝ මිනිසුන් මුණ ගැසෙන මුත් අප සිත් සතුටු කළ හැකි මතක හිටින රසවතුන් හමුවන්නේ කලාතුරකිනි. එසේ හමුවන්නන් බොහෝ අය කලාවෙන් පිරිපුන් මිනිසුන් මෙන්ම ඔවුහු කලා තුරු ගණයට එසේත් නැත්නම් කලාවෙන් ඵල පිරීගිය වෘක්ෂ ගණයට අයත් වෙති. අපගේ අවාසනාවට වටිනාකමින් යුතු බොහෝ වෘක්ෂ අද වන විට මේ මිහිතලයට මිහිදන්වූවෝය. එහෙත් එහි ඵල තව පරම්පරා සිය ගණනකට එපිට රසවිඳිය හැකි ඵලයන්ම වන්නේය. සෞන්දර්ය කලා ලෝකය බිහි වූ මහා ඝාන්ධර්ව අමරදේවයන් ද අපට එවැනිම වූ මහා වනස්පතියෙකි. අද ළතෙත් ගුණැති අම්මා සටහන ලියැවෙනුයේ එවැනි යුග ගාන්ධර්වයෙකු මවක් සේ රැකගත් ආදරණීය විමලා අමරදේව නම් වූ උත්තමාවියක් පිළිබඳවය. ඇගේ ළතෙත් ගුණවන්තභාවය ගැන කතා බහ ගෙන එනුයේ ආදරණීය දියණිය සුභානි අමරදේව මහත්මියයි. 

අම්මා තාත්තව බලා ගත්ත විදිය

අපේ අම්මාව අපිට පුංචිම කාලේ ඉඳන් දකින්න ලැබුණේ මහා ප්‍රතාපවත් පෞරුෂයක් ඇති ආදරණීය හිතක් තියෙන කෙනෙක් වගේම මහා විශාල දුර දකින්න පුළුවන් නුවණක් ඇති කෙනෙක් විදියට. මමත් අක්කත් මල්ලිත් තුන්දෙනා විතරක් නොවෙයි එයා තාත්තව බලා ගත්තෙත් දරුවෙක් බලනවා වගේ. අම්මා නර්තන ආචාර්යවරියක් හැටියට පාසල් කිහිපයක සේවය කළා. පාන්දර දෙකට අවදිවෙලා ගෙදර වැඩ පටන් ගත්තේ. අම්මා බොහෝම ආශාවෙන් කළ ගුරු සේවයට ඉතාම වේලාසන සමුදීලා අපේ ගෙදර කටයුතු අපේ අධ්‍යාපන කටයුතු සහ විශේෂයෙන් තාත්තගේ කටයුතු වෙනුවෙන් ගෙදර නතර වුණා. කිසිම දවසක අපේ ප්‍රශ්නයක් තාත්තට දැනෙන්නවත් තිබ්බේ නැහැ. පුංචි කාලේ වැරදිවලදි ඇති තරම් ගුටි කාලා තියෙනවා ඉස්කෝලේ ගිහිං ඇවිත් ඇඳුම් මාරු කරන්න පරක්කු වුණාම ගුටි තමයි. අම්මා හරි සැර පරුෂ කෙනෙක් විදියට හිටියට හරිම සංවේදි කෙනෙක්. අම්මට හරි බයක් තිබුණා එයාගෙන් කවුරුහරි අපිව උදුරගනී කියලා. නිතරම ඉස්කෝලෙදිත් කියන්නේ අපි මොනවා කරනවාද දන්නේ නැහැ. අපේ අම්මා කියන්නේ දරුවෝ හැටියට අපි තුන් දෙනාවයි ස්වාමිපුරුෂයා වන තාත්තවයි පපුවේ තුරුලු කරගෙන දවසම හිටිය කෙනෙක් කියලා මට හිතෙනවා. 

පොඩි දරුවෙක් වගේ

ඇත්තටම අම්මා කියනවා අපේ තාත්තත් පොඩි ළමයෙක් වගේ කියලා. එහෙම කියන්නේ මොකද තාත්තාත් හරිම සංවේදී කෙනෙක්. තාත්තා කවදාවත් කැමති නැහැ කාගේවත් හිත රිදෙනවාට. ඒ නිසාම සමහර සිදුවීම්වලදී තාත්තාගේ පරිස්සමට අම්මා නිතරම ළඟ හිටියා. දවසක් අපි ඉස්කෝලේ ඇරිලා අම්මත් එක්ක ගෙදර එනකොට තාත්තා කවුද මනුස්සයෙක් එක්ක කතා කර කර ඉන්නවා. මේ මනුස්සයාව දැක්කම මහා බය හිතෙන මැරයෙක් වගේ මනුස්සයෙක්. තාත්තා විතරක් ගෙදර ඉන්න වෙලාවක් බලලා ඒ මනුස්සයා ආපු එකට අපිට හරියට බය හිතුණා. අම්මා ගෙට එන කොටම ඇහුවා       

       

“කවුද මේ” කියලා අර මනුස්සයා අපි දිහා බැලුවා එතකොට තාත්තා කියනවා “හරි හරි මේ මම දන්න කෙනෙක්” කියලා. ඇත්තටම තාත්ත අඳුනන කෙනෙක් නොවෙයි. ඒ මනුස්සයාගේ හිත රිදෙයි කියලා එහෙම කියලා තියෙන්නේ.

ඉතින් අම්මා තාත්තගේ ඒ ගතිගුණ හොඳින් තේරුම් අරගෙන නිතරම තාත්තා ගැන බලාගෙන හිටියා. ඒවගේම තාත්තා කැමති නැහැ වෙන අය හදන කෑම කන්න. අම්මාගේ අතින්ම තමයි තාත්තගේ කෑම පිළියෙල වුණේ.
අම්මා දුකින් හිටියා
ලෝකෙට පේන්න තාත්තාගේ ළඟින් ෆොටෝ වීඩියෝවල පෙනී නොසිටියට අම්මා තේරුම් අරන් හිටියා තාත්තා කියන්නේ ජාතික වස්තුවක්, මේ ජාතික වස්තුව පරිස්සම් කළ යුතු එකම සහ හොඳම ආරක්ෂකයා තමන්බව. අම්මා කොයිතරම් තාත්තව බලා කියාගෙන පරිස්සම් කළාද කියනවා නම් තාත්තා අම්මට කිව්වේ මේ මගේ නර්ස් කියලා.
අම්මාගේ ජීවිතයේ අවසාන කාලයේ හරි දුකකින් පසුවුණු කාරණාවක් තිබුණා. ඒ තමයි තාත්තා මිනිස්සුන්ට කොයිතරම් වටිනා කෙනෙක් වුණත් තාත්තාගේ වටිනාකමින් රාජ්‍ය අංශයෙන් සමාජයට වැඩක් කරන්න ප්‍රයෝජන ගත්තා මදී කියන එක. අම්මාගේ ජීවිතයේ තිබුණු ලොකු ආශාවක් තමයි තාත්තාගේ උගත්කමින් හා සංගීත දැනුමින් තව පරපුරකට ප්‍රයෝජනයක් ලබාදීම. ඒ වගේම තාත්තා තාත්තගේම සංගීත ආශ්‍රාමයක දරුවන්ට උගන්වනවා දකින්න අම්මා ආශා කළා. අම්මා තාත්තා එක්ක එකතු වෙලා කිහිප අවස්ථාවක ඒ කටයුතු ආරම්භ කරන්න හැදුවත් ඒ සඳහා සහයක් මදි වුණා කියලා අම්මා කිව්වා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හැකි පමණින් තාත්තාට සහයෝගය දුන්නා. ඒ වගේම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් තාත්තට බොහෝම අගය කිරීම් සිදු කළා. තාත්තාට තාත්තාගේ සංගීත ජීවිතයේ ලබා ඇති දැනුමෙන් තව පරම්පරා ගණනාවකට කළ හැකි දේ මග හැරුණා කියලා අම්මා නිතරම කිව්ව දෙයක්.

අම්මා නැත්තම් අමරදේව කෙනෙක් නැහැ

ඒ වගේම අම්මා අම්මාගේ හැකියාවන් හුඟක් අතහැරලා කටයුතු කළ කෙනෙක්. අම්මා දකුණු ඉන්දියාවේ භරත නර්තනය පිළිබඳව හා හේවුඩ්වල නර්තන අංශයේ විශේෂ දක්ෂතා ඇතිව කලාව හදාරපු කෙනෙක්. ඒ වගේම ජන ගායනා අංශයේ සුවිශේෂී දක්ෂතාවක් ඇති කෙනෙක්. මේ සෑමදෙයක්ම එයා යටපත් කරගෙන තාත්තාගෙන් සමාජයට ලබා දිය හැකි දේ වෙනුවෙන් වෙහෙස වුණා. විමලා අමරදේව කියන ඒ ශක්තිවන්ත චරිතය නොහිටින්න අමරදේව කියන ගාන්ධර්වයා නැහැ. අපි තුන්දෙනාට අපේ අම්මා කියන චරිතය පෞද්ගලිකව දැනුණාට ඇත්තටම මේ අම්මා කියන්නේ දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් සේවාවක් කරපු කෙනෙක්. අද මම මේ කියන කාරණාව තව කාලයක් ගතවුණාම තවත් දැනේවී. මොකද ඒ අම්මාගේ හීනයක් වෙලා තිබුණු ඒ කාරණාව මල්ලි ඉෂ්ට කරන්න උත්සාහයක් අරගෙන තියෙනවා.
සාමාන්‍යයෙන් තමන්ගේ දරුවන්ගේ ආශාවන් සහ සතුට ඉදිරියේ තමන්ගේ සතුට කැප කරන්න කොයි අම්මා තුළත් තියෙන්නේ පුදුමාකාර නිර්ලෝභීකමක්. අපේ අම්මා අපි වෙනුවෙන් වගේම තාත්තා වෙනුවෙනුත් ඒ නිර්ලෝභි සිතිවිල්ල අවදි කළ කෙනෙක්.

පැරණි ගවුම් විලාසිතා වලට කැමති ප්‍රවීන රංගන ශිල්පිනී මනීෂා Read Previous

පැරණි ගවුම් විලාසිතා වලට කැමති ප්‍රවීන රංගන ශිල්පිනී මනීෂා

MY STYLE with   ටනාෂා Read Next

MY STYLE with ටනාෂා

Realted Post

Leave a comment