ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන

ඇය හෙළ සිනමාවේ ප්‍රේක්ෂක හදවත් තුළ ලැඟුම්ගත් සදාදරණීය සුපෙම්වතිය යි. රූපයෙන් තවමත් සිත් ඇදගන්නා සුලු ආකර්ෂණීය පෙනුම සහ සිනහව එදා වගේම අදත් ඇය ළඟ තිබෙනබව රහසක් නොවේ. රිදී තිරය, පුංචි තිරය සහ වේදිකාව ජීවිතය කරගත් ඇය, ස්ව හැඟීම් රංග භාවයට වහල් නොකළ චරිතයට සාධාරණයක් ඉටු කළ චරිතයක්බව කිව යුතුමය. රාමු නොවූ චරිතවල තමන්ටම අනන්‍ය වූ ස්වකීය අනන්‍යතාව විදහා දක්වන අසහාය රංග ප්‍රතිභාව නිසාම අදටත් ජනතා ආදරය නොඅඩුව ලබන ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී  ශ්‍රියානී අමරසේන. 

මෙවර සිරිකත කවරය හැඩකරන ඇය සමගයි මේ සුහද කතාබහ.

කොහොමද මේ දවස්වල කාලය ගතවෙන්නේ? 

මේ දවස්වල විශේෂම වැඩක් කියලා නැහැ. නමුත් අලුත් චිත්‍රපටයක් සඳහා සූදානම් වෙන ගමන් ඉන්නවා. බරපතළ ගැටලුවක් තිබෙන කතාවක් තමයි ගේන්න සූදානම් වෙන්නේ. මූලික කටයුතු ටික කරගෙන යනවා. ඒ ගැන ඊට වඩා දෙයක් දැන්ම කියන්න බැහැ.

රිදී තිරය, පුංචි තිරය, සහ වේදිකාව සමග බැඳුණු ඔබේ කලා ජීවිතේට දැන් වසර කීයද?

මුලින්ම කලාව වැලඳ ගන්නෙ පාසල් වේදිකාවෙන්. චිත්‍රපට කර්මාන්තයට ඇවිත් ගෙවුණු මගේ කලා ජිවිතේට දැන් වසර පනහක් පමණ වෙනවා.

ශ්‍රියානි අමරසේන කියන්නේ ගුවන් විදුලි සංස්ථාවෙන් ඔපවැටුණු චරිතයක්?  

ඒක ඇත්තටම මට අහම්බෙන් හිමිවුණු වාසනාවක්. මුලින්ම ගුවන් විදුලි සංස්ථාවට එකතුවෙන්නෙ ළමා ගායිකාවක් විදියට. මීතොටමුල්ලේ අපේ අම්මගේ ගෙදර ළඟ හිටියා සිරි පෙරේරා කියලා නීතිඥවරයෙක්. අපි ඔහුට කතා කළේ සිරි අයියා කියලා. එයා හොඳ කලාකාරයෙක්. ඔහු තමයි ඒ කාලේ ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටිය වැඩසටහන මෙහෙයවීම කළේ. ඒ කාලේ රූපවාහිනී යන්ත්‍ර තිබුණෙ නැහැ. ළමා පිටියෙන් දරුවන්ට හොඳ දැනුමක් ලැබුණා. මමත් රංගනයට, නර්තනයට සහ ගායනයට හුඟක් ඇලුම් කරපු කෙනෙක්. ඉතින් මගේ වැඩේ ඒ කාලේ ගේ ඇතුළෙ ඉඳගෙන හයියෙන් සින්දු කියන එක. දවසක් සිරි අයියා මම සින්දු කියනවා අහගෙන ඉඳලා අපේ අම්මට කතාකරලා කියනවා 
“අනේ අක්කේ මේ කෙල්ල දීපන්කෝ මගේ ළමා පිටියට” කියලා. 
එතකොට මට වයස අවුරුදු හතක් වගේ. එතකොට මම ගායනය සම්බන්ධයෙන් හැදෑරීමක් කරලා තිබුණේ නැහැ. අවසානයේ ඔහුගෙන් ලැබුණු අනුදැනුම, උපදෙස්, මේ සියල්ල සමග ගුවන් විදුලි සංස්ථාවේ ළමා ගායිකාවක් විදියට වසරක පමණ කාලයක් වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඒක ජීවිතේ කවදාවත් අමතක නොවෙන කාලයක්.

පවුලේ එකම දරුවා විදියට ලැබුණ නිදහස?

නිදහස ලැබුණා. ඒක හරි වෙනස් නිදහසක්. මොකද පවුලේ එකම දරුවා වුණාම ආරක්ෂාව වැඩියි. නමුත් අම්මයි තාත්තයි කිසිම දවසක මාව කොටු කළේ නැහැ. අපේ අම්මා ළඟ ඉස්සර තිබුණා කාල සටහනක්. අම්මා ඒක මගේ කාමරේ බිත්තියේ අලවලා තිබුණේ. ඉස්කෝලේ ඇරිලා ඇවිත් කෑම කාලා, තේ බීලා සෙල්ලම් කරන්න යන්න කාලයකුත් ඒ කාලසටහනේ තිබුණා. 
හවස්වෙලා තමයි ඇඟ සෝදාගෙන පාඩම් වැඩ කරන්න ගන්නේ. අම්මා තමයි මගේ ටීචර්. ගණිතය, සාහිත්‍ය මට ඉගැන්නුවේ අම්මා. ඒ වගේම අපි හරියට විනෝද ගමන් ගියා. වන්දනාවේ ගියා. වෙහෙර විහාර රජවරු කරපු දේවල් හැමදෙයක්ම දැක්කා. ඒක පොඩි වයසට ජීවිතේට ලැබුණු හොඳ අවස්ථාවක්. 

ඔබ එදා විඳපු නිදහස අද නව පරපුරේ දරුවන්ට ලැබෙනවා කියලා හිතෙනවද?

ඇත්තටම නැහැ. අද දරුවන්ට ඒ නිදහස අහිමි වෙලා. අපේ සමාජයේ ඉන්නවා.
අදටත් කවදාවත් සිරීපාදේ ගිහිල්ලා නැති දරුවෝ. මම කියන්නේ අනිවාර්යයෙන් සිරීපාදේ යන්න කියලා නෙවෙයි. නමුත් මේ වගේ සුන්දර පරිසර, ස්ථාන අපේ රටේ තියෙනවා කියලා දරුවෝ දැනගන්න ඕනෑ. ඉස්සර අපි වට වන්දනාවේ යනවා.
 මගේ ටයිම් ටේබල් එකේ පාඩම් කරන්න වගේම සෙල්ලම් කරන්න විනෝද වෙන්නත් ලොකු කාලයක් තිබුණා. වැරදි වැඩ කරද්දි ගුටිත් කෑවා. දඬුවම් වින්දා. නමුත් අද දරුවෝ අධ්‍යාපන තරගයට එකතුවෙලා. ඉස්කෝලේ ඇරිලා ඇවිත් හවසට ආයෙත් ටියුෂන් පන්ති. ඊට පස්සේ රෑට මියුසික් පන්ති. ඉතින් දරුවන්ට කොහෙද නිදහසක්. අද ළමයි සමාජය විසින් නිහඩ කරවලා. දැන් ඉන්න දරුවන්ට අපි විඳපු සුන්දර ළමා කාලේ අහිමිවීම ගැන හරිම දුකයි.

ඔබ රංගනයෙන් දායක වූ සිනමාවේ කැමතිම නිර්මාණ සහ චරිත මොනවද?

මම හරි කැමතියි විරාගය චිත්‍රපටයේ සරෝජිනී ගේ චරිතයට. කුලගේ චිත්‍රපටයේ එඩ්නා, මහගෙදර, අහසින් පොළවට, මේ නිර්මාණ සම්භාව්‍යය ගණයේ නිර්මාණ. ඊට අමතරවත් මම කැමති හුඟක් නිර්මාණ තියෙනවා.

ලංකාවේ දැනට පවතින දේශපාලන වතාවරණය ගැන මොකද හිතෙන්නේ? 

ඒකනම් උත්තර දෙන්න හරි අමාරු ප්‍රශ්නයක්. දේශපාලනය කියන්නේ වැදගත් දෙයක්. ආසියාතික රටවල දේශපාලනය හරිම කර්කශයි කියලා මට හිතෙනවා. දේශපාලනයේ තියෙන්නේ බල ලෝභී බලයට කෑදර ආශාවක්. නමුත් ඒ තුළ දේශයට ආදරය කරන පාලනයක් තිබිය යුතුයි. මම කවදාවත් දේශපාලන වේදිකාවකට නැගලත් නැහැ. යන්න බලාපොරොත්තුවකුත් නැහැ. නමුත් රටේ පවතින දේශපාලන වටපිටාව ගැන අවධානයෙන් සහ අවබෝධයෙන් සිටිනවා.

ගැහැනියක් විදියට ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි “එහෙම නොවුණා නම් හොඳයි” කියලා හිතෙන තැන් තියනවද? 

එහෙම තැන් කොච්චර තියනවද? ඕනැම කෙනකුට ජිවිතේ එහෙම තැන් තියනවා. වැටීම්, බිඳවැටීම්, සාර්ථකවීම්, අසාර්ථකවීම් ඕනෑ තරම් තියනවා. නමුත් ඒවා දිහා බලලා දුක් වෙනවට වඩා සාර්ථක තැන්වලදී සතුටුවෙන ගමන් අසාර්ථක තැන් සාර්ථක වෙන විදියට කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනෑ. මම හිතන්නේ ඒක තමයි අපි ජීවත්වෙනවා කියන්නේ.

මේ වෙනකොට ඔබ බලාපොරොත්තු වූ ජීවිතේ ඔබට ලැබිලා තියෙනවද?

බොහෝදුරට ඔව්. බලාපොරොත්තුවුණු හුඟක් දේවල් හිමිවෙලා තියනවා කියලා හිතනවා. සුවහසක් මිනිස්සුන්ගේ ආදරය ලැබෙනවා. පෙම්වතියක්, බිරිඳක්, මවක්, මිත්තණියක්, මේ සියලු භූමිකා මට හිමියි. ඉතින් මම හිතනවා මම හරිම වාසනාවන්ත ගැහැනියක් කියලා. 

ඡායාරූප : ඉන්දික මල්ලවආරච්චි      

 

 

LINEN FROCKS Read Previous

LINEN FROCKS

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර Read Next

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර

Realted Post

Leave a comment