මේ තමයි මම කැමැති විදිහ chamathka lakmini

මෙවර පැවති සුමති සම්මාන උලෙළේ 2023 වර්ෂයේ නැගී එන නිළියට හිමි සම්මානය හිමි කරගත්තේ සුරූපී රංගන ශිල්පිනී චමත්කා ලක්මිණි ය. මේ කෙටි කතාබහ ඇය සමග ය.

පසුගිය කාලේ දකින්න ලැබුණේ අඩුවෙන් නේද? 

හුස්ම  සහ පියාඹන්න ආයෙත් චිත්‍රපට දෙකට දායකවූවාට පසුව මගේ දරුවා වෙනුවෙන් පොඩි කාලයක් වෙන් කළා. ඒ වගේම ගුණාත්මකභාවයෙන් යුක්ත නිර්මාණයක් කිරීමට අවුරුදු දෙකක විතර විවේක කාලයක් ලබාගත්තා. ඒ අතරතුර ටීවී සීරියස් එකකුත් තව පොඩි පොඩි වැඩවලටත් දායකත්වය ලබා දුන්නා. ඒ කාලය තුළ වැඩිපුරම කාලය වෙන් කළේ මගේ පුතා වෙනුවෙන් විතරයි.

මේ දිනවල තිරගත වෙන ‘වර්ණ’ චිත්‍රපටයටත් එකතුවෙලා ඉන්නවා නේද? 

වර්ණ චිත්‍රපටියේ චරිතය මට ලැබුණු අභියෝගාත්මක චරිතයක්. ඒ චරිතයට ප්‍රවේශ වෙන්න නම් මා තුළ සිටින  ගැහැනිය ඉදිරියට ආ යුතුයි. මම මේ චිත්‍රපටයට දායක වීමට වැඩිපුරම කැමති වුණේ එහි සිටි අනෙක් චරිත නිසයි. මම විශේෂයෙන්ම මට ලැබෙන නිර්මාණවලදී  මා සමග රඟපාන අනෙක් අය කවුද කියා සොයා බලනවා. ප්‍රවීණයන් සමග රඟපෑමට මම බොහොම කැමතියි. මොකද ඒ අයගෙන් මට ඉගෙන ගැනීමට බොහෝ දේවල් තිබෙනවා. වර්ණ  චිත්‍රපටයේ චරිතයට ප්‍රවේශවෙන්න මට මාවම සංයමයට පත්කරගන්න සිදුවුණා.

ඔබට ලැබුණු සම්මානය ගැන මොකද හිතෙන්නේ?

වසර 2023 ජනාධිපති සම්මාන උලෙළේදී නැගී එන නිළියට හිමි සම්මානය  මට ලැබුණා. ඒ වගේම සුමති සම්මාන උලෙළේ ද  නැගී එන  නිළියට හිමි සම්මානය ලැබුණා. හුස්ම චිත්‍රපටය වෙනුවෙන් තමයි මට ඒ සම්මාන ලැබුණේ. හුස්ම නිකුත්වෙලා සෑහෙන කාලයක් බලා හිටියා අපි ඒ චිත්‍රපටිය වෙනුවෙන් කිසියම් ඇගයීමක් ඒ නිර්මාණයට දායක වුණු කිසියම් කෙනෙකුට  හරි ලැබෙයි කියලා. අපේ පෞද්ගලිකත්වය ඒවගේම අපේ ආත්මයම කැප කරගෙන තමයි අපි මේ නිර්මාණයට දායක වුණේ. මේ නිර්මාණය නිකුත්වුණු දවස්වල හොඳ  මෙන් ම නරක ප්‍රතිචාරද ලැබුණා. ඉතින් මේ දේවල් නිසාම යම්කිසි ඇගයීමකට ලක්වෙයි කියා සිතුණා.  ඇත්තටම ඒ ගැන මට ගොඩක් සතුටුයි. 

හුස්ම චරිතය නිසා ඔබේ අම්මා චරිතයට හානියක් වුණා කියලා හිතෙනවද?   

එහෙම වෙන්න තිබුණු අන්තිම සාධකයත් නැවතුණා මේ සම්මානය ලැබීම නිසා. කවද හරි  දවසක මගේ පුතා කියයි හුස්ම නිර්මාණය නිසා මගේ අම්මා සම්මානනීය රංගන ශිල්පිනියක් වුණා කියලා. 

ඔබ පුතා සමග ගත කරන කාලය කොහොමද?

මම දරුවා එක්ක හරිම සැහැල්ලුවෙන් ගත කරනවා. ලොකු බැඳීම් සමග මහා ලොකු දේවල් එක්ක ජීවත්වෙන කෙනෙක් නෙමෙයි මම. මට ජීවත් වෙන්න පොඩි පොඩි දේවල් තිබුණොත් ඇති. සෑහෙන කාලයකට පසුව නිර්මාණවලට දායක වෙන්න ලැබිච්ච නිසා මම ගොඩක් කාර්යබහුල වුණා. ඒ නිසා මට පුතාව ටිකක් මගහැරුණා. ඉතින් ඉඩ ලැබෙන සුළු කාලේ වුණත් එයා වෙනුවෙන් වෙන් කරන්න මම දෙපාරක් හිතන්නෙ නැහැ. පුතා මට ඒ දෙන නිදහස  මගේ ආදරයත් සමගම නැවත එයාට ලබාදෙනවා.

ජිවිතේ ගැන මොකද හිතෙන්නේ?

මම මේ රංගන ක්ෂේත්‍රයට ඇවිත් වසර දහයක් වෙනවා. මම දැන් ඉන්න තත්ත්වයට එන්න බොහෝම දුක් මහන්සි වෙලා වැඩ කළා. ඒකට මගේ  මහත්තයා ගොඩාක් උදව් කළා. ලංකාව වගේ රටක ඉක්මනින්ම දියුණු වෙන්න අමාරුයි. අපි ගොඩක් මහන්සි වෙලා බොහොම සංයමයකින් ඒ දේවල් දිහා බලාගෙන ඉන්න ඕනෑ. අපි සැලැස්මක් හදාගෙන වැඩ කරන්න ඕනෑ. මම බොහොම පොඩි වැඩ කොටසක් තමයි මේ වෙනකොටත් කරලා තියෙන්නේ. ඒ දේවලුත් මම මාව තෘප්තියට පත්වෙන දේවල් විතරයි කරලා තියෙන්නේ. වැඩ කරන හැමෝම සමගම හොඳින් සහයෝගයෙන් වැඩ කටයුතු කරලා තියෙනවා මේ වෙනතෙක්ම. මේ දේවල් නිසාම මගේ පෞද්ගලික ජීවිතයත් සමග ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සමබරව කරගෙන යන්න මට අවස්ථාව ලැබී තිබෙන්නෙ.

ඉදිරි නිර්මාණ මොනවද? 

මම කැමතියි  කෙටි නාට්‍යවලට දායකත්වය ලබාදෙන්න. මෙගා ටෙලි නාට්‍යවලට නම් මගේ කැමැත්තක් නැහැ. තව සිනමා නිර්මාණයකට හා ටෙලි නිර්මාණයකට දායකත්වය ලබාදෙනවා. ඒ කොහොම නමුත් සිනමා රංගන ශිල්පිනියක් ලෙස මාව හඳුන්වනවාට මම කැමතියි. මේ තමයි මම කැමති විදිහ.  

වසත් සිරිය 2024 Read Previous

වසත් සිරිය 2024

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර Read Next

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර

Realted Post

Leave a comment