අම්මයි බබයි දෙන්න ම අවදානමේ වැදෑමහේ ගැටලු

‘කාන්තාව’ මවක් වීම ඇයගේ ජීවිතයේ වැදගත්ම කාලපරිච්ඡේදය යි. පෙරුම් පුරා ගැබිනියක බවට පත් වූ ඇය තම කුස තුළ වර්ධනය වන, මොලොව එළිය නොදුටු දරුවා බිහිවනතුරු ගැබ ආරක්ෂා කර ගන්නේ මහත් ඕනෑකමකිනි.

ගර්භිණී කාලයේදී ඇතිවෙන අපහසුතා සාමාන්‍ය වුවද එම අපහසුතාවන්ට අමතරව යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවන්නේ නම් එය මඳක් විමසිලිමත් විය යුතු තත්ත්වයකි. මෙම ගැටලුකාරී තත්ත්ව ඇති කරවන නොයෙකුත් හේතු තිබේ. එම හේතු අතර වැදෑමහේ ඇතිවෙන ගැටලු වඩාත් අවදානම් ය. ඊට හේතුව දරුවා බිහිවනතුරු වැදෑමහෙන් ඉතා වැදගත් කාර්යයන් රැසක් ඉටුවන නිසා ය. 

වැදෑමහෙන් කෙරෙන දේ 

‘වැදෑමහ’ ගර්භිණී කාලයේදී පමණක් වර්ධනය වන ඉන්ද්‍රියකි. පෙකෙනි වැලේ එක් කොටසක් දරුවාට සම්බන්ධ වන අතර අනෙක් කොටස වැදෑමහට සම්බන්ධ වෙයි. වැදෑමහ සවිවන්නේ ගර්භාශ බිත්තියට ය. වැඩුණු වැදෑමහ පිඟානකට සමාන වන අතර පිඟානට වඩා ගනකමින් වැඩිය.

වැදෑමහ ඇතිවන්නේ මෙහෙමයි

සංසේචනය වූ ඩිම්බය ගර්භාශය තුළට ඇතුළු වී ගර්භාශ බිත්තියට සවි වී ගැබ්ගැනීම ආරම්භ වෙයි. එසේ ගර්භාශ බිත්තියට කළලය සවි වීමත් සමගම වැදෑමහද ඇතිවෙයි. වැදෑමහ මගින් ස්වාභාවිකවම මව සහ දරුවා අතර වැදගත් සම්බන්ධතාවක් ගොඩනගයි. 

කුස තුළ වර්ධනය වන දරුවාට ආහාර ගැනීමේ, හුස්ම ගැනීමේ,  බහිස්‍රාවී අපද්‍රව්‍ය මල මූත්‍ර මගින් පිට කිරීමේ හැකියාවක් නැත. මේ සියලු කාර්යයන් ඉටුවන්නේ වැදෑමහ හරහා ය. දරුවාගේ වැඩීමට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන්නේ, දරුවාට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ, දරුවා බහුස්‍රාවී අපද්‍රව්‍යයන් පිට කරන්නේ වැදෑමහ හරහාය. බැක්ටීරියා, වයිරස් සහ වෙනත් අපද්‍රව්‍යවලින් දරුවා ආරක්ෂා කරන අතර දරුවාගේ ආරක්ෂාවද තහවුරු කරන්නේ වැදෑමහයි. 

වැදෑමහේ ඇතිවන ගැටලු 

වැදෑමහේ ඇතිවෙන ගැටලු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒ වැදෑමහේ පිහිටීම සම්බන්ධයෙන් සහ වැදෑමහේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඇතිවෙන ගැටලු ය.
සෑම ගර්භිණී මවක්ම සති 20 දී ස්කෑන් පරීක්ෂණයට යොමු කරවයි. එයින් සොයා බලන ප්‍රධාන දෑ අතරින් එකක් වන්නේ වැදෑමහේ පිහිටීමයි. වැදෑමහ ගර්භාශයේ පහළ කොටසෙහි පිහිටියහොත් එය අවදානම් තත්ත්වයකි. දරුවා බිහිවන මාර්ගය අවහිර වන ලෙස වැදෑමහ පිහිටියහොත් ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය. මෙවැනි තත්ත්වයකදී ගර්භිණීතාව අතරතුර ලේ ගැලීමක් සිදුවිය හැකිය. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයෙන් වැදෑමහ පහතින් පිහිටා ඇති බව හඳුනා ගතහොත්, සු`ඵවෙන් හෝ රුධිර වහනයක් ඇතිවුවහොත් මව වහාම රෝහල්ගත විය යුතුය. ඒ නිසා මෙවැනි මවුවරුන් දුර ගමන් යාමෙන් වැළකී සිටිය යුතු අතර හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඉක්මනින්ම රෝහල්ගත වීමට පහසු ස්ථානයක සිටිය යුතුය. 
ඒවාගේම දරුවා බිහිවනතුරු ලිංගික සම්බන්ධතාවලින් වැළකී සිටීමද ඉතා වැදගත් වේ.
බොහෝ දෙනෙකුගේ සති 20 වන විට පහතින් ඇති වැදෑමහ පසුකාලීනව යථා තත්ත්වයට පත් විය හැකිය. එහෙත් සුළු පිරිසකගේ එම තත්ත්වය දිගටම පැවතිය හැකිය. මෙවැනි මවුවරුන්ට සාමාන්‍ය දරු උපතක් සුදුසු නොවන අතර සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කළ යුතු වෙයි. 

වැදෑමහ ගර්භාශ බිත්තියට තදින් ඇලුනොත් 

මෙවැනි තත්ත්වයක් දැකිය හැකි වන්නේ සිසේරියන් සැත්කම් කීපයක් සිදු කළ මවුවරුන් අතරය. එමෙන්ම මෙය කලාතුරකින් දක්නට ලැබෙන තත්ත්වයක් ලෙසද දැක්විය හැකිය. සාමාන්‍ය තත්ත්වය යටතේ වැදෑමහ ගර්භාශ බිත්තියට ඉතා තදින් ඇලී පවතින්නේ නැත. මේ තත්ත්වයේදී අනිවාර්යයෙන්ම දරුවා බිහිකළ යුතු වන්නේ සිසේරියන් සැත්කමකිනි. ඒවාගේම අධික රුධිර වහනයක් සිදුවීමේ අවදානමක්ද ඇති අතර සමහර විට සිසේරියන් සැත්කමේදී ගර්භාශය ඉවත් කිරීමටද සිදුවිය හැකිය.

වැදෑමහ ගැලවී යාම

මෙය ද කලාතුරකින් දැකිය හැකි තත්ත්වයකි. සමහර අවස්ථාවලදී දරුවා බිහිවීමට පෙර වැදෑමහෙන් කොටසක් ගැලවී යාමට පුළුවන. මුල් ගර්භිණී අවස්ථාවලදී මෙවැනි තත්ත්වයක් ඇති වූ මවුවරුන්ට මෙන්ම දරුවා වටා වැඩි වතුර ප්‍රමාණයක් තිබීම ඊට හේතු විය හැකිය.
මෙවැනි තත්ත්වයක් ඇති වීමේදී උදරයේ අධික වේදනාවක් ඇතිවන අතර අධික රුධිර වහනයක්ද සිදුවිය හැකිය. මෙසේ වැදෑමහේ කොටසක් ගැලවී යාමේ තත්ත්වයක් ඇතිවුවහොත් කුස තුළ සිටින දරුවා බේරා ගැනීමට නම් ඉක්මනින්ම දරුවා සිසේරියන් සැත්කමෙන් බිහි කළ යුතුයි.  

ගැටලු වැඩිපුර බලපාන්නේ කාටද? 

වැදෑමහේ ක්‍රියාකාරිත්වයේ ඇතිවෙන ගැටලු ද විශේෂයෙන් බලපාන්නේ කුස තුළ වර්ධනය වන දරුවාට ය. යම් විදියකින්  මෙසේ වැදෑමහේ ක්‍රියාකාරිත්වයේ ගැටලු ඇතිවුවහොත් දරුවාට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මෙන්ම දරුවාට ලැබිය යුතු ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම නිසා කුස තුළ වැඩෙන දරුවා කුඩා විය හැකියි. ගර්භිණී මව සායනයට යාමේදී නිරන්තරයෙන්ම මවගේ උදරයේ මිනුම් ලබා ගනී. මෙසේ ලබා ගන්නා මිනුම් මාර්ගයෙන් හා ස්කෑන් පරීක්ෂණ මගින් ගර්භාශයේ ක්‍රියාකාරිත්වයේ ඇති ගැටලු හඳුනාගත හැකිය. යම් විදියකින් මෙවැනි තත්ත්වයක් ඇතිවුවහොත් දරුවා කලින් බිහි කළ යුතුය. ඒ නිසා මෙවැනි තත්ත්වයකට මුහුණ දී ඇති ගර්භිණී මවුවරුන් දරුවාගේ දැඟලීම ගැන වැඩි අවධානයෙන් පසුවිය යුතුය. බබාගේ දැඟලීමේ යම් අඩුවක් දැනුනහොත් වහාම රෝහල්ගත විය යුතුය. 

ලොව ළාබාලතම බිලියනපතිනිය Read Previous

ලොව ළාබාලතම බිලියනපතිනිය

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර Read Next

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර

Realted Post

Leave a comment